29 May 2017

මූලික ප්‍රශ්නවලට උත්තර දෙන්න ආණ්ඩුවට බැරිවෙලා : කුමාර් ගුණරත්නම්

ආණ්ඩුව ගෙන යන ව්‍යවස්ථා සංශො‍්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කියන්නේ කුමක්ද? විධායක ජනපති ධූරය. අහෝසි කිරීමට ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ගන්නා ස්ථාවරය කුමක්ද?පෙරටුගාමී පක්ෂය ඉටුකරමින් ඉන්නේ රාජපක්ෂවාදීන්ගේ අවශ්‍යතාවද? පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් පුවත් පතකට මෙසේ පිළිතුරු දෙයි.

* ලංකාවේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරකම් ගැන ඔබේ විග්‍රහය මොකක්ද?

රටේ දේශපාලනික තත්ත්වය ලොකු අර්බුදයක තියෙන්නෙ. මේ අර්බුදය ප්‍රකාශයට පත්වෙන පැති ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල පාර්ශ්ව‍යත් අගමැති රනිල් පාර්ශ්වයත් අතර පැහැදිලි බෙදීමක් තියෙනවා. මේ බෙදීමත් සමඟ ඇතිවන ගැටුම විවිධ තලයන්ගෙන් පේන්න තියෙනවා. මේ හවුල් ආණ්ඩුව බලයට පත්වෙලා දැන් වසර දෙකකට වැඩියි. මේක යහපාලනය වුණාට රටේ මූලික ප්‍රශ්නවලට උත්තරදීගන්න බැරිවෙලා. රැකියා දසලක්ෂය, වොක්ස්වැගන් කර්මාන්තශාලා ව්‍යාපෘතිය අසාර්ථකයි. අධ්‍යාපනය විකිණීම ඇරෙන්න වෙන තත්ත්වයක් නැහැ.

* ඔබ එහෙම කිව්වත් රටතුළ මූලිකව, ප්‍රජාතන්ත්‍රවාදයත්, රැකියා උත්පාදක වැඩසටහනුත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා?

ශිෂ්‍යයො, වෛද්‍යවරු, වෘත්තීය සමිති සියලුදෙනා ඒකාබද්ධව සටන්කරන තත්ත්වයට පත්වෙලා. සෞඛ්‍ය ප්‍රශ්නය එන්න එන්නම වැඩිවෙනවා. තෙල් ටැංකි බදුදීම,විශ්‍රාම වැටුප් ප්‍රශ්නය EPF, ETF එකට අත තැබීම වගේ ප්‍රශ්න කරළියට එනකොට ආණ්ඩුව මර්දනය මුදාහරිනවා. තමන්ට බදු ගහනවට, අධ්‍යාපනය විකුණනවට, ඉන්දියාව වැනි රටවල් සමඟ අසාධාරණ ගිවිසුම් අත්සන්කිරීමට එරෙහිව උද්ඝෝෂණය කරද්දී උසාවි නියෝග අරගන්නවා, කඳුළුගෑස් ගහනවා. ජල ප්‍රහාර එල්ලකරනවා. ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටිලා.

* මේ ආණ්ඩුව එන්නෙ පැවති මර්දනකාරී වටපිටාවක ප්‍රතිඵලයක් හැටියට. ඔවුන් යහපාලනය ගේනවා. ඒ අනුව සමාජ ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දෙනවා. මේ ප්‍රතිසංස්කරණවලට යන්න ඉඩ නොදී ගැටුම්කාරී තත්ත්වයන් රටේ නිර්මාණය කිරීම සාධාරණද?

අපි 2015 ජනාධිපතිවරණයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා හැටියට, දුමින්ද නාගමුව සහෝදරයා ඉදිරිපත් කරල රටේ ජනතාවට කිව්වෙ මුහුණු මාරුවකින් මේ රටේ තියෙන සැබෑ ප්‍රශ්නයට උත්තර ලැබෙන්නෙ නැහැ කියල. පැවති රාජපක්ෂ පාලනය පැහැදිලිවම ප්‍රජාන්ත්‍ර විරෝධීයි. ඒක අත්තනෝමතිකයි. ව්‍යවස්ථාමය ඒකාධිපතීත්වයක් දක්වා ගමන් කරමින් තිබුණා. සුදු වෑන් සංස්කෘතිය, පුද්ගලයින් අතුරුදහන් කිරීම ඒ කාලෙ තිබුණා. ඒ නිසා ඒ පාලනය පරාජය කළ යුතුව තිබුණා. ඒක ගැන අපිට කිසිම ගැටලුවක් නැහැ. මේ ආණ්ඩුව එන්නෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන මහා ‍ ඝෝෂාවත් එක්ක. ඒත් අද වෙනකොට විධායක ජනාධිපති ක්‍රමය එහෙමම තියෙනවා.

* එහෙම වෙලා තියෙන්නෙ විවිධ දේශපාලන බලවේග රටතුළ විවිධ මතවාද පතුරවමින් ප්‍රතිසංස්කරණ කාරණාවලට ඉඩ නොදීම නිසා නේද?

නැහැ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි කාරණයක් වෙන්කොට අරගෙන ඊට අදාළ දේශපාලන න්‍යාය පත්‍රයක් සකස් කළොත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්.

* විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි කාරණයකදී, ආණ්ඩුව ජනමත විචාරණයකට ගියොත් ඔබේ පක්ෂයේ මතය මොකක්ද?

අපි ඒක ඉදිරිපත් තත්ත්වය තුළ බලමු. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කියන කාරණය එක්ක එකතු වෙච්ච අනෙකුත් කාරණා ගැනත් බැලිය යුතුයි. අනුමාන ප්‍රශ්නවලට දැන්ම අපි පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. J.R. ජයවර්ධන ඒකාධිපති ව්‍යවස්ථාවක් ගොඩ නැඟූවෙම, මේ අපි දැන් කියන විවෘත ආර්ථිකය, නව ලිබරල් ආර්ථිකය හදුන්වා දෙන්න. මේ ආර්ථික ප්‍රතිපත්තිම ඉස්සරහට යන තත්ත්වයක් ඇතුළේ, විධායක බලය නැතුව ඒක පවත්වාගෙන යන්න බැහැ.

* මේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඔබේ විග්‍රහය මොක්ද?

මේ ව්‍යවස්ථාවෙන් රටේ මූලික ප්‍රශ්න විසඳාගන්න අවස්ථාව ලැබිල නැහැ. එක පැත්තකින් ව්‍යවස්ථා වෙනසකින් රටේ ප්‍රශ්න විසඳන්නත් බැහැ. මොකද? මේ රටේ තියෙන ප්‍රශ්න බොහොමයක් ව්‍යවස්ථාවක් නිසා ආපු ප්‍රශ්න නෙවෙයි. සමාජ ආර්ථික ක්‍රමයේ අවශ්‍යතාව සඳහා තමයි මේ ව්‍යවස්ථාව ගොඩනඟල තියෙන්නෙ. මේ සමාජ ආර්ථික ක්‍රමය, මේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙම්ම තියෙද්දී, ජනතා විරෝධී දේශපාලන ක්‍රමය මෙහෙම්ම තියෙද්දී ව්‍යවස්ථාවෙ වගන්ති වෙනස් කරල ජනතාවට සහනයක් වෙන්නෙ නැහැ. ෆෙඩරල්ද, ඒකීයද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. මේ සමාජ ආර්ථික ක්‍රමයෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ.

* මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කරන්න නම් ඔබ යෝජනා කරන්නෙ මොන වගේ වැඩපිළිවෙළක්ද?

සමාජවාදය ගොඩනැඟීමෙන් තොරව මේ ප්‍රශ්නය විසදන්න බැහැ. අපිත් කාලයක් හිටපු ජ.වි.පෙ සහ සමහර වාමාංශික කණ්ඩායම් සමාජවාදය ගැන කතා කරන්න අපහසු යුගයක් කියල තියෙනවා. නමුත් අපි පැහැදිලිව කොන්දේසි විරහිතව කියනවා රටේ ප්‍රශ්නවලට සමාජවාදය හැරෙන්න වෙන උත්තරයක් නැහැ. පසුගිය කාලෙ බටහිර රටවල තියපු මැතිවරණවලින් පවා සමාජවාදී අදහස් ඉදිරියට ආවා.

* ඔය ඔබ කියන සමාජවාදී ක්‍රමයට යන්න රටේ මිනිස්සු එකඟ නැති බව පහුගිය ඡන්දවලින් පෙන්නුම් කෙරෙනවා නේද?

මේ ක්‍රමය හොඳද? මේ ක්‍රමයෙ කම්කරුවන්ට, ගොවියන්ට හොඳ නැහැ. මේ ක්‍රමයෙ ජීවත්වෙන්න පුළුවන්ද?

* ලංකාවෙ දැවැන්ත කම්කරු නායකයො හිටියා. සමාජවාදී නායකයො හිටියා. මේ කිසිවෙකුට සමාජවාදී ආණ්ඩුවක් හදන්න බැරිවුණා. දැන් පුළුවන්ද?

ඉතිහාසයේ ගොඩනැගුණු දේශපාලන පක්ෂ, සමාජ ව්‍යාපාර හා ඒවායේ ක්‍රියාධරයන් හා නායකයන්ගේ දේශපාලන වැඩපිළිවෙළ අසාර්ථක වීම කියන කාරණය විතරක් පදනම් කරගෙන අනාගතයේදී වඩා සාධාරණ යුක්තිගරුක සමාජයක් ගොඩනඟන්න බැහැ කියන තර්කයේ මම නැහැ. මේ ක්‍රමය තුළ සමාජය යන්නෙ ම්ලේච්ඡත්වයට. දරුවන් එක්ක ඉන්න තිබුණු නිදහස නැහැ. දරුවන්ට සෙල්ලම් කරන්න තිබුණු කාලය නැහැ. එක රැකියාවකින් අපේ මූලික අවශ්‍යතා ටික තෘප්තිමත් කරගන්න බැහැ. මේ නිසා අපේ පීඩනය වැඩිවෙලා. මිනිස්කම් සහෝදරත්වය නැතිවෙලා. එහෙනම් අපි මොකද කරන්නෙ. අපි වෙන සංවර්ධනයක් හොයන්න ඕන.

* ලෝකයෙ බොහෝ රටවල් දියුණු වුණේ ඔය කියන සමාජවාදී ක්‍රමයෙන් ම නොවෙයි?

ලෝකයේ බටහිර රටවල් 2008 ඉඳන් මහා දැවැන්ත ආර්ථික අවපාතයකට යමින් ඉන්නෙ. ඒ නිසා තමයි ඇමරිකාවෙ ට්‍රම්ප් ජාතිකවාදී ප්‍රවණතාවක් ගන්නෙ. ප්‍රංශයත් එහෙමයි. මේ කාලෙ ඇමරිකාවෙ අර්බුදය නිසා ඔවුන්ට ට්‍රම්ප් කෙනෙක් අවශ්‍යවෙලා තියෙනවා. මේ අර්බුදය ග්‍රීසියේ, පෘතෘගාලයේ, ස්පාඤ්ඤයේ, අයර්ලන්තයේ, ඉතාලියෙත් අපි දැක්ක.

* චීනය සේද මාවත ඔස්සේ ලෝකයටම ආර්ථිකය නිදහස් කරනවා. විවෘත ආර්ථිකයක් එක්ක නේද චීනය ගමන් කරන්නේ?

චීනය තවදුරටත් සමාජවාදී රාජ්‍යයක් හැටියට අපි පිළිගන්නෙ නැහැ. ඔවුන් පැහැදිලිවම ධනේශ්වර මාවතක ගමන් කරමින් ඉන්නෙ. චීනයෙ අපි කියපු අර්බුද ගොඩාක් තියෙනවා. චීනයට ආයෝජකයො වැඩියෙන් යන්නෙ ඇයි? රතු හමුදාවෙන්ම ලාභය සුරක්ෂිත කරල දෙනවා. එහෙ අරගල, වැඩවර්ජන නැහැ. රතු හමුදාව සියල්ල කොන්ට්‍රෝල් කරල දෙනවා.ඒක අන්ත ප්‍රතිගාමී තත්ත්වයක්. ආර්ථික අවපාතයක් එක්ක ලෝකය පුරා යුද්ධ, කව්ද මේ යුද්ධ මෙහෙයවන්නෙ. එක පැත්තකින් ඇමරිකාව, අනෙක් පැත්තෙන් චීනය, රුසියාව.

* ලෝකයම ගෝලීයකරණයට මුහුණදෙමින් සිටින්නෙ, අපිට පුළුවන්ද සමාජවාදී රාජ්‍යයක් ගොඩනඟමින් ඉදිරියට යන්න?

අපි මේ කියන්නෙ හුදකලා රාජ්‍යයක් ගොඩනඟන අදහසක් නෙවෙයි. මේ අද සිදුවන ගෝලීය කරණයෙන් වෙන්නෙ, බලවත් ප්‍රාග්ධනය ඇති රාජ්‍යයන් දුර්වල ප්‍රාග්ධනය ඇති රටවල් යටපත් කරමින්, යුද්ධ ඇතිකරමින්, පාලනයන් වෙනස් කරමින් තමන්ගේ ලාභ පොදි – කඳු ගොඩ ගසාගන්න කරන වියරු තරගයක්. අපි ගෝලීය කරණයට එකඟයි. ඒක මුළු ලෝකයම සමාජ වාදය දිසාවට යන එකක්.

* නිදහස් අධ්‍යාපනය අනතුරේ කියල ඔබේ පක්ෂය මතයක් ගොඩනඟමින් ඉන්නවා. ඔබ මොන පදනමකින්ද එහෙම කියන්නෙ?

අධ්‍යාපනය වෙළෙඳ පොළේ විකුණන වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කරනවට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි.

* ඉතිං දැනුත් අධ්‍යාපනය විකිණෙනවනෙ. පෞද්ගලික පන්ති, විවිධ පාඨමාලා හරහා අධ්‍යාපනය විකුණනවා?

අධ්‍යාපනය විකුණුවාම අහිමිවෙන්නෙ කාටද? ඔබ වැනි මාධ්‍යවේදීන්ගෙ, ගොවියගෙ, කම්කරුවගෙ, ධීවරයන්ගෙ දරුවට කෝටි ගණනන් වියදම් කරල අධ්‍යාපනය දෙන්න මේ අපට බැහැ. දැනටමත් ඔවුන් දෙකේ තුනේ පන්තිවල ඉඳන්ම අධ්‍යාපනයට වියදම් කරනවා. විවිධ වෙස් මුහුණු මාරුකරගෙන ආවට, 1977 අධ්‍යාපනය විකුණන්න ආපුගමන් මඟ තමයි මේ යමින් තියෙන්නෙ. 1981 ධවල පත්‍රිකා ගෙනාව විරෝධතා ආව ඒක හකුලගත්තා.

* ඔබේ විරුද්ධත්වය තියෙන්නෙ මාලඹේට විතරයි. ඒත් පෞද්ගලික අංශය සමස්ත අධ්‍යාපනයම ආක්‍රමණය කරමින් ඉන්නෙ?

මේ අරගලය ඒ දක්වාම විහිදෙනවා. සමහර ප්‍රශ්න තියෙනව සමාජ අවධානය වැඩිපුර දිනාගත්තු. මේකට සමස්ත ජනතාවම විරුද්ධයි. සමහර අයට වෙන වෙන දේශපාලන උවමනා ඇති. මේ හරහා ඉෂ්ට කරගන්න. අපි ඉන්නෙ ජනතාවගෙ පැත්තෙ. අපි ඉන්නෙ නෝ සයිටම් කියන තැන නෙවෙයි. පුද්ගලික වෛද්‍ය විද්‍යාලම එපා කියන තැන. ආණ්ඩුව අධ්‍යාපනයට 6%ක් වෙන්කරනව කිව්වනෙ. මේ 6% වෙන්කරනව නම් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම දියුණු කරන්න පුළුවන්. එහෙම වුණාම සමත් හැමෝටම රජ්‍ය විශ්වවිද්‍යාල වරම් දෙන්න පුළුවන්.

* මාලඹේ පටන් ගන්නා අවධියේදී අද විරුද්ධවෙලා ඉන්න අය විරෝධතාවක් දැක්වූවේ නැහැ?

ඔබ හැන්සාඩ් එක බැලුවොත් දකියි. පෙරටුගාමී පක්ෂය නියෝජනය කළ එකම මන්ත්‍රීවරයා අජිත් කුමාර සහෝදරයා මීට විරෝධය දැක්වූ අාකාරය. ඒ වගේම අධ්‍යාපනය විකිණීම ගැන වූ හැම අරගලයකම අපි හිටියා. හැබැයි විවිධ පාර්ශ්ව ඒ අරගලවලට එකතුවීම හා‍ නොවීම එක්ක අවශ්‍ය දිශාවට අරගලය ගියේ නැහැ.

* ඔබ සමඟ මේ අරගලයට සම්බන්ධ වී ඉන්න වෛද්‍ය සංගමය එදා ලොකු විරෝධයක් දැක්වූයේ නැහැ?

ඔවුන්ගේ හ‍‍‍ඬේ තීව්‍රරතාවයේ වෙනස්කම් තිබුණා. නමුත් ඔවුන් සයිටම් එකට විරුද්ධ මතයේ හැමදාම හිටියා. මේ වෙලාවෙ ඔවුන් නිශ්චිතවම මේ අරගලයේ ප්‍රධාන කොටස්කරුවන් වෙලා.

* ඔබ ඒකාබද්ධ විපක්ෂයෙ කොන්ත්‍රාත්තුවක් මේ කරන්නෙ කියල හිතෙනවා?

මේ තත්ත්වය ඒකාබද්ධය හෝ වෙනත් දේශපාලන කණ්ඩායම් තමන්ගෙ දේශපාලන න්‍යාය පත්‍රය සාධනය කිරීමේලා පාවිච්චි කිරීමේ ඉඩකඩ තියෙනවා. ඒක කොයි වෙලාවෙත් තියෙනවා. බලයට පත්වුණු ආණ්ඩුව පෙරළා බලයට එන්න ඉන්න කණ්ඩායම් කරන දෙයක්.

* හැබැයි ඔබ රාජපක්ෂවරුන්ගෙ අනුදැනුමෙන් තමයි 2015 ලංකාවට එන්නෙ කියල චෝදනාවක් තියෙනවා?

චෝදනා ගොඩක් තියෙනවා. ඔබ දන්නවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මාව පැහැරගෙන ගිහින් ඝාතනය කරන්න උත්සාහ කළා. අහම්බෙන් වගේ දිවි ගැලවුණා. විවිධ අවස්ථාවල මම ලංකාවට එන්න ඉල්ලුවා. මට අවස්ථාව දුන්නෙ නැහැ. 2015 මගේ ඉල්ලීමට අවස්ථාව දුන්නා. මාසයකට ලංකාවට එන්න. අපි දන්නව මේ බල මාරුව තුළ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ඉබේ පහළ වෙනවා. ඒ අවකාශය තමයි අපි ප්‍රයෝජනයට ගත්තේ.

* දැන් ඔබේ හා පක්ෂයේ ක්‍රියා පිළිවෙත හරහා පෙනෙන්නට තියෙන්නේ රාජපක්ෂවරුන්ගේ අරමුණ සඳහා ඔබේ සහාය ලැබෙන බවක් කියල කිව්වොත්?

අපේ ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ. ජනතාවාදීයි. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිවලට, පෞද්ගලීකරණ හා නිෂ්පාදනය බිඳවැටීමේ ප්‍රතිපත්තිවලට ද අධිරාජ්‍යවාදීන්ට රට විකුණනවාට අපි විරුද්ධයි. ඒක කව්රු කළත් එකයි. එදා රාජපක්ෂ වරුන්ටත්අපි විරුද්ධ වුණා.

* ඔබ ජ.වි.පෙන් ඉවත්වෙන්නේ ඇයි?

ජ.වි.පෙ ගොඩ නැගුණු අරමුණක් තියෙනවා. ලංකාවෙ සමාජවාදය නිර්මාණය කිරීම පක්ෂයේ අරමුණ විය යුතුයි. ඒකෙන් පක්ෂය අයින්වෙලා ජනාධිපතිවරු පත්කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගන්නා පක්ෂයක් බවට පත්වෙද්දි අපි එතනින් අයින් වුණා. අපිට ස්වයං විවේචනයක් තියෙනවා. අපි ඒක කරමින් තමයි ජ.වි.පෙන් අයින් වුණේ.

* සමාජවාදී නැඹුරුවක් ඇති පක්ෂ වෙන්වෙන්ව ඉන්නතාක් මේ රටේ ජනතාව සමාජවාදයක් ගැන විශ්වාසය ති‍යයිද?

වමේ ව්‍යාපාරය බෙදී වෙන්වී යාම හරහා සමාජවාදය ගැන විශ්වාසය බිඳවැටෙනවා. සාමූහිකත්වය ගැන සමාජයට කියන මේ අය තුළ සාමූහිකත්වයක් නැද්ද? කියන ගැටලුව ජනතාව තුළ ඇතිවිය හැකියි. ඇත්ත වාමාංශික ව්‍යාපාර එක්ක ඒකාබද්ධතාව ඇතිකරගන්න අපි උත්සාහ කරමින් ඉන්නවා.

* ඔබටත් ද්විත්ව පුරවැසි චෝදනාවක් එල්ල වෙනවා නේද?

පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයක් මට තිබුණා. මහින්ද රාජපක්ෂ පාලන සමයේ මගේ ජීවිතය බේරාගැනීම සඳහා එදා ජ.වි.පෙ ගත්තු තීරණයකට අනුව මම සහ මගේ බිරිඳ දරුවන් විදේශගත වී ඕස්ට්‍රේලියානු පුරවැසිබව ලබාගත්තා. ඒ නිසා මගේ මුල් පුරවැසි බව අහිමිවුණා. අලුත් ආණ්ඩුව ආවට පස්සෙ මම මෙහෙ පුරවැසිබව ඉල්ලුවා. නමුත් මට ඒක දුන්නේ නැහැ. ඒ කාලයේ මම නීති ගැටලුවලට මුහුණදුන්නා. මේ ආණ්ඩු තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුවයි තීන්දු ගන්නේ.

* පුරවැසිභාවය සම්බන්ධ දැන් තත්ත්වය මොකක්ද?

මම ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයෙන් ඉවත් කරන්න කියන ඉල්ලීම කරල තියෙන්නෙ. මාව එහෙත් නිදහස් කළ යුතුයි. ඊට සම්බන්ධ සියලු ලියකියවිලි මම බාරදීලයි තියෙන්නෙ. මේක දැන් රාජ්‍යයන් දෙකක් අතර ගනුදෙනුවක් බවට පත්වෙලා.

* සරත් ෆොන්සේකා ඇමතිවරයා කියනවා අද ඔබ ජීවත්වෙන්නෙ ඔහු නිසා බව?

සරත් ෆොන්සේකා මහතා භාරයේ තිබිච්ච හමුදා කඳවුරක මියයාමට නියමිත ලයිස්තුවේ තුවාල සහිතව මම හිටියෙ. එක්වරම මාව නිදහස් කරන්න කියල කොළඹට ගෙනාවා. ඒකට හේතු වෙන්නෙ ප්‍රේමදාස ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ට බන්දුල දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් ආරිය බුලේගොඩ මහතා සම්බන්ධ වීමයි. ඒ යන්නේ ජීවත්ව ඉන්න කවුරු හෝ ඉන්නවා නම් ඔවුන්ව නිදහස් කර ගැනීමටයි. එතනදි බුලේගොඩ මහතා ලයිස්තුවක් ඉදිරිපත් කරනවා. කෙසේ හෝ ඒ ලයිස්තුවෙ ඒ වෙනකොට ජීවත්ව සිටියේ මම විතරයි. ඒ නිසා මාව වහාම කොළඹට ගේනවා. ආරක්ෂක ලේකම් සේපාල ආටිගල මහතා නිකුත් කළ ලිපියකට අනුව බුලේගොඩ මහතාට මාව බලන්න අවස්ථාව ලැබෙනවා. ඉන්පසුව තමයි මා නිදහස් වෙන්නේ. එවැනි නිල තත්ත්වයක් තුළයි මගේ ජීවිතය ලැබෙන්නේ. ඔහුගේ ප්‍රකාශය අසත්‍යයක්.

No comments:

Post a Comment