21 May 2017

දුෂණ වංචා විමර්ශනයට පිහිටුවන අධිකරණය වහා පිහිටුවන්න

දුෂණ වංචා විමර්ශනය විමසීම  සඳහා පිහිටුවන බවට පොරොන්දු වූ විශේෂ අධිකරණය වහා පිහිටුවන්නැයි දූෂණ විරෝධී පෙරමුණ අවධාරණය කරයි.

එම පෙරමුණ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා රාජගිරිය දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එම විශේෂ අධිකරණය පිහිටුවා දැන්වත් මහා පරිමාණ දුෂිතයින්, වංචාකරුවන්, අපරාධකරුවන්ට දඩුවම් කරන්නැයි තමන් ජනපති-අගමැති ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවට බල කරන බවය.

එහිදී අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා,

“යහපාලන රජය මුලින්ම මහා පරිමාණ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලැසිල් ද සිල්වා ඉවත් කළා. අද ඒ කොමිසම බෝඩ් ලෑල්ලක් විතරයි. අල්ලස් කොමිසමේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඉල්ලා අස්වුණා. අපිත් විමර්ශන පරක්කු වෙනවා කියා ඇයට චෝදනා කළ අවස්ථා තිබුණා. නමුත්, වික්‍රමසිංහ මහත්මිය ගියාට පස්සේ අල්ලස් කොමිෂන් සභාව 'මහින්ද රාජපක්ෂ යුගයේ තිබුණු බෝඩ් ලෑලි කොමිෂන් සභාව' බවටම පත් වුණා.  දැන් මහා පරිමාණ දුෂණ විමර්ශන ලේකම් කාර්යාලයට දුන්න පහසුකම් කප්පාදු කරමින් යනවා. තව ටික දවසකින් එයත් බෝඩ් ලෑල්ලක් විතරයි.

වංචා දුෂණ විමර්ශනය සඳහා තිබුණු සියළුම ව්‍යවස්ථාපිත ආයතන අද අඹරලා, මිරිකලා, තටු කපලා ඉවරයි. ඒවායේ තිබුණ ජීව ගුණය ඉවරයි. වංචා දුෂණ විමර්ශන නඩු ලිපි ගොනු අධිකරණයේ, නීතිපති ලග ගොඩ ගැහිලා.  ඒවා එකක් වත් ඉදිරියට යන්නේ නෑ.  මේ ආණ්ඩුව වංචා විමර්ශනය සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවනවා කිව්වා.  දැන් ඒ යෝජනාව කැබිනට් මණ්ඩලයේ සම්මත වෙලා අවුරුදු දෙකකට වැඩියි.  තවමත් ප්‍රමාද නෑ.  මහින්ද ගේ ආණ්ඩුවෙත්, යහපාලන ආණ්ඩුවෙත් දෙකේම හොරු අල්ලන්න වංචා දුෂණ නඩු සදහා විශේෂිත අධිකරණය පිහිටුවන්න.  එහෙම නැතිව, ඊළග මැතිවරණයටත් හොරු අල්ලන්ඩ බලය දෙන්න කිය කියා ඡන්දේ ඉල්ලන්න ගියොත් යහපාලන ආණ්ඩුවේ මෛත්‍රී ටීම් එකටයි, රනිල් ටීම් එකටයි, ජවිපෙ ටීම් එකටයි තුන් ගොල්ලන්ටම ජනතාව මඩු වලිගෙන්ම ගහන බව ස්ථිරයි යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

අද හොර පොල් කඩන අය අල්ලනවා. කසිප්පු බීපු අය, විකුණන අය අල්ලනවා.  නමුත්, සංවේදී ලේඛන හෙළි කරන මහ බැංකුවේ නිලධාරීන්, විගණන විමසුම් සගවා තබන නිලධාරීන් බැදුම්කර වංචාවට පහසුකම් සැපයූ මහ මොළය තවමත් දේශීය ණය අංශයේ ප්‍රධානියා ලෙස රස්සාව කරනවා.   ලංකාවේ දුෂිතම අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ ට ලබන සතියේ උසස්වීමක් ලැබෙනවාලු.

වංචා දුෂණ විමර්ශන ගැන අපිට තිබුණ බලාපෙරොත්තු අද එකින්එක බිද වැටෙමින් තියෙනවා.  බැදුම්කර කොමිසම අදහන්නට බැරි තොරතුරු දිනපතා එළියට දානවා.  නමුත්, මේ කොමිසම තවම එක බැදුම්කරේක විමර්ශන විතරයි අත ගහලා තියෙන්නේ.  දෙවැනි මහ බැදුම්කරේට තවම අත තියලා වත් නෑ.

මහින්ද ආණ්ඩුවේ හොරුන්ට හැමදාම විමර්ශන විතරයි.  ආණ්ඩුවට එකතු වූ දුෂිතයින් ගැන දැන් කථාවක් වත් නෑ.  යහපාලන ආණ්ඩුවට රෙද්දක් ඇදන් පාරට බහින්න ආසාවක් තියෙනවා නම් දැන්වත් රටට පොරොන්දු වුණ විශේෂ අධිකරණය පිහිටුවලා එදා හොරුත්-මෙදා හොරුත් එකම හිර ගෙදරට දක්කන්නට ඕනි යැයි ද කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.“

මහා පරිමාන වංචා විමර්ශණ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා, ලංකා බැංකු හිටපු සභාපති රැසිරුපාල තෙන්නකෝන්, පුජ්‍ය උලපනේ සුමංගල, නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි විය.


No comments:

Post a Comment