28 June 2017

ෆේස් බුක්වලින් සිදුවන තවත් අපරාධයක් හෙළිවෙයි

මුහුණු පොත ෆේස් බුක් මඟින් හඳුනාගන්නා ලද පුද්ගලයින් රවටා විවිධ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරවා ගනිමින් මුදල් වංචා කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු පැමිණිලි 15 කට අධික ප‍්‍රමාණයක් සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.

මෙරටට සංචාරක කටයුතු හා අධ්‍යාපන කටයුතු සඳහා පැමිණි විදේශීය ජාතිකයින් විසින් ෆේස් බුක් වැනි සමාජ ඡුාලා වෙබ් අඩවි ඔස්සේ හඳුනාගන්නා ලද මෙරට ජනතාව සමඟ මිතුරු ඇසුරක් පවත්වන අතර පසුව ඔවුන් වෙත විවිධ ත්‍යාග එවනු ලබන බවට දන්වා ඔවුන්ගේ ෆේස් බුක් හා ජංගම දුරකථනවලට ලිඛිත පණිවිඩ යොමු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඉන් අනතුරුව එම ත්‍යාගයන් ලබා ගැනීම සඳහා තැපැල් ගාස්තු, රේගු, රක්ෂණ ගාස්තු හා මුදල් අමාත්‍යාංශයට ගෙවිය යුතු මුදල් ගෙවීමට අවශ්‍ය බව පවසා එම මුදල් මෙරට පුද්ගලයින්ගෙන් ලබා ගෙන ත්‍යාග ලබා නොදී මුදල් වංචා සිදු කරනු  ලබන බව පොලීසිය පවසයි.

මෙලෙස මුදල් වංචා කිරීම් සම්බන්ධව විමර්ශන පවත්වා මේ වන විට මෙම අපරාධයට අදාළව නයිජීරියානු හා උගන්ඩා ජාතික සැකකරුවන් 25 කට අධික ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙම අපරාධයට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ සිදු කරනු ලබයි.

විදේස් ජාතිකයන් විසින් මෙලෙස ලක්ෂ 500 ක පමණ මුදලක් ලාංකීකයින් රවටා  ගිණුම්වල තැන්පත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

No comments:

Post a Comment