19 July 2017

අධික පොලියට බැඳුම්කර දෙද්දී භාණ්ඩාගාරයේ බිලියන 180ක් තිබුණා

රජයේ මුදල් අවශ්‍යතාවන් කෙළින්ම දන්වනුයේ මහා භාණ්ඩාගාරයට මිස මහ බැංකුවට නොවන බවත්, අර්ජුන් මහේන්ද්‍රන් අධිපතිවරයාගේ ඕනෑකමට ඔහුගේම බෑනාගේ පර්පෙචුවල් සමාගමෙන් අධික පොලියකට රුපියල් බිලියන 15ක් දැඩි කොන්දේසි යටතේ ලබාගත් දිනය වනවිට රුපියල් බිලියන 180යි දශම 08ක මුදල් ප්‍රමාණයක් අත ඉතිරිය වශයෙන් තිබූ බව මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සජිත් ආටිගල මහතා මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේදී ඊයේ (18) හෙළිකර සිටියා.

ආටිගල මහතා එකී තොරතුරු කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ කොමිසමේ සභාපති ජේ‍යෂ්ඨ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ.ටී. චිත්‍රසිරි මහතාගේ විමසුමකට ප්‍රතිචාර දක්වමින්.

තම ප්‍රකාශයන් තහවුරු කිරීම සඳහා ආටිගල මහතා 2015 වර්ෂයේ ජනවාරි, පෙබරවාරි මාස සඳහා මහා භාණ්ඩාගාරය විසින් සකසන ලද මුදල් ප්‍රවාහන ලේඛනද කොමිසම හමුවට ඉදිරිපත් කළා.

කොමිසමේ සෙසු කොමසාරිස් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ප්‍රසන්න එස්. ජයවර්ධන මහතාගේ විමසුමකට ප්‍රතිචාර දක්වමින් ආටිගල මහතා වැඩිදුරටත් කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ 'මුදල් ප්‍රවාහ ලේඛනය' යනු මහා භාණ්ඩාගාරයේ මෙහෙයුම් කටයුතුවලදී වඩාත්ම වැදගත්ම මෙවලම වන බවයි.

ආටිගල මහතා තවදුරටත් කොමිසම හමුවේ කියා සිටියේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට අවශ්‍ය මුදල් සම්පාදනය කරනුයේ මහා භාණ්ඩාගාරය ඉදිරිපත් කරනු ලබන මඟපෙන්වීම් අනුව බවත්, අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය මුදල් ප්‍රමාණයේ යම් අඩුවක් ලුහුඬුවක් ඇති වුවද කාගෙන්වත් අධික පොලී යටතේ බරපතළ පාඩුදායක කොන්දේසි මත මුදල් ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, ඉතාමත්ම අඩු පොලී අනුපාත සහ සහනදායි කොන්දේසි මත ලබාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව හා බද්ධිත අනෙකුත් මුදල් සංචිතයන්හි ඕනෑතරම් මුදල් තිබුණු බවත්ය.

No comments:

Post a Comment