27 July 2017

තක්කාලි ආරක්ෂාවට ආයුද සන්නද්ධ භටයන් යොදවයි


 ඉන්දියාව පුරා තක්කාලි මිල අහස උසට ඉහළ යෑමත් සමග ඇතැම් ප්‍රාන්තවල තක්කාලිවලට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට තොග වෙළෙඳුන් කටයුතු කර තිබේ.

හින්දුස්ථාන් පුවත්පත වාර්තා කරන ආකාරයට, එරට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්ඩෝර් නගරයේ තොග වෙළෙඳුන් තම තක්කාලි තොග ආරක්ෂාවට ආයුද සමග ආරක්ෂක භටයන් යෙදවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

මේ වනවිට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ දේවි අහිලියා බායි වෙළෙඳ සංකීර්ණයේ තක්කාලි තොග ආරක්ෂාවට ආයුද සන්නද්ධ ආරක්ෂක භටයන් 6 දෙනෙකු යොදවා ඇති බවත්, බොහෝවිට තක්කාලි තොග බෑමේදී සිදුවන සොරකම් වැළැක්වීම ඔවුන්ගේ කාර්යභාරය බවත් තොග වෙළෙන්දෝ පවසති.

දැනටමත් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම තක්කාලි තොග සොරකම් කිරීම් පිළිබඳ වාර්තා වී ඇති බව පෙන්වාදෙන වෙළෙන්ඳෝ, මේ තත්ත්වය තුළ තක්කාලි රන් මෙන් ආරක්ෂා කිරීමට සිදුව ඇති බවද සඳහන් කරයි.

අවාරය මෙන්ම, අයහපත් කාලගුණය යන හේතු සාධක අනුව ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල තක්කාලි මිලෙහි යම් වෙනසක් පැවතියත්, සාමාන්‍යයක් ලෙස තක්කාලි කි.ග්‍රෑ 01කට ඉන්දීය රු.100/- ක් හෙවත් පැවති මිල මෙන් දෙගුණයක් ගෙවීමට සිදුව ඇති බවද වෙළෙන්ඳෝ වැඩිදුරටත් පවසති.

No comments:

Post a Comment