10 July 2017

ත්‍රෛයි නිකායික භික්ෂූන්ගේ නැගිටීම හා බණ්ඩාරනායක ඝාතනයේ අලුත් පිටපත

පසුගිය දා හිටි හැටියේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව දේශපාලන කාරණා කිහිපයක් සම්බන්ධයෙන් අවදිව හඩ නැගීය. ඉන් අනතුරුව මේ ඊයේ පෙරේදා මහනුවරට රැස් වූ ත්‍රෛයි නිකායික මහා සංඝ රත්නය ආණ්ඩුවට තදින් කියා සිටියේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම හෝ අනවශ්‍ය බවයි. පවත්නා ව්‍යවස්ථාව ඒ අයුරින්ම පවත්වාගෙන යෑම සුදුසු බවත් විධායක ජනාධිපති ධූරයේ අවශ්‍යතාව රටට වැදගත් බවත් මහා සංඝරත්නයේ මතය වී තිබේ.

මෙම දේශපාලනික අවදිවීම නිහඩව සිටි භික්ෂූන් පිරිසකගේ ක්ෂණික නන්දෙඩවීමක් ලෙස නිවැරැදි නොවන අර්ථ දැක්වීමකට යෑම පවතින බැරෑරුම් තත්ත්වය නොසලකා හැරීමක් විය හැකිය. පළමුව අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවෙන් ද දෙවැනිව ත්‍රෛයි නිකායික භික්ෂූන්ගෙන් ද සමාජය මතු පිටට ආ පණිවුඩය හුදු ආගමික උනන්දුවකින් දැක්වූ සරළ ප්‍රතිචාරයක් නොවේ. මෙරට සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයේ ඉතිහාසගත මතවාදය ත්‍රෛයි නිකායික භික්ෂූන් විසින් තම කරමතට ගනිමින් එය නියෝජනය කිරීම සදහා පෙරට ඒමක් ලෙස මෙම හැසිරීම අර්ථ දැක්විය හැකිය.

ත්‍රෛයි නිකායික මහා නායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවන්ගේ මතයට ජන මනසට බලපෑමක් කිරීමේ ප්‍රබල හැකියාවක් පවතින අතර එම සිවිල් බලය ආණ්ඩුවක ජනවරමකට එරෙහිව පාවිච්චි කිරීමේ අප්‍රසන්න උත්සාහයක මේ මොහොත තුළ භික්ෂු සංස්ථාව යෙදී සිටී. එම උත්සාහය වඩා පිළිකුල් වන්නේත් වඩා භයානක වන්නේත් මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ගෙන එන පනත් කෙටුම් පතක් සම්මත කර ගැනීම සදහා ද ඔවුන් තම බලය යොදා මැදිහත්වීමයි.

සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයට තර්ජනය කිරීම

2010 දී පොදු විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අත්තනෝමතිකව අත් අඩංගුවට ගනිමින් ඔහුගේ මිනිස් නිදහසත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවත් අමු අමුවේ උල්ලංඝනය කිරීමට රාජපක්ෂ රෙජීමය විළිලැජ්ජා නැතිව කටයුතු කළේ ය. එවිට ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය ඊට තම විරෝධය හා නොකැමැත්ත ප්‍රකාශ කළහ. එහෙත් රාජපක්ෂවරු එම විරෝධය තඹ සතයකට මායිම් නොකළහ. එසේම සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වය සංඝ සභාවක් කැදවමින් සරත් ෆොන්සේකා ප්‍රජාතන්ත්‍ර විරෝධීව අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තදබල විරෝධයක් ප්‍රකාශ කරන්නට සැරසුනි. එවිට කොළඹ අසපු වල ජීවත්වන ආණ්ඩු හිතවාදී භික්ෂූන් ඊට තර්ජනය කළේ සංඝ සභාව දෙකඩ කරන බවටත් මල්වතු විහාරයට බෝම්බ ගසන බවටත් කියමිනි. ඒ පිටුපස රාජපක්ෂලා සිටි බව රහසක් නොවේ. අන්තිමේ දී මල්වතු පාර්ශ්වයට එම සංඝ සභාව අවලංගු කිරීමට සිදුවුණි. සියල්ලෝ කිසිවක් සිදු නොවූ පරිදි වැඩවාසය කළ අතර සරත් ෆොන්සේකාගේ අත් අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් හුදකලාව විරෝධය පාන්නට ගිය මහා සංඝරත්නය රාජපක්ෂ රෙජීමයේ අන පරිදි පොලිසියෙන් ගුටි බැට කෑහ.

මල්වතු පර්ශ්වයට හෝ සියම් නිකායට හෝ අනෙකුත් කිසිම නිකායකට හෝ රාජපක්ෂවරුන්ට දැනෙන විරෝධයක් එල්ල කිරීමට  හැකියාවක් නොවුණි. මහනුවර දළදා මාළිගාව වටා රාත්‍රී කාර් රේස් පැවැත්වීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධය පයෙහි පෑගෙන දූවිල්ලක් තරමට ගණන් ගැනීමක් රාජපක්ෂවරුන් විසින් සිදු නොකරන ලදි. භික්ෂූන්ගේ සියළු විරෝධයන් හුදු මහානායක ආරාමයන්හි කෙරෙන රහස් සතර කන් මන්ත්‍රණ වලට සීමා වුණි. අනතුරුව යම් යම් සිද්ධීන් වලට අදාළව මහා සංඝරත්නය නිකායික කාරක සංඝ සභා, නායක හිමිවරු හා පොදුවේ මහා සංඝ රත්නය මට්ටමෙන් කළ කිසිදු ලිඛිත ඉල්ලීමක් රාජපක්ෂවරුන් විසින් සැලකිල්ලට නොගන්නා ලදි. එහෙත් දැන් ලංකාවේ දේශපාලන වටපිටාව හා සංස්කෘතිය වෙනස්වී තිබේ. වෙනදා නොමැති ආණ්ඩු විරෝධයක් කෙතරම් මර්දනීය අවශ්‍යතා තුළ වුවත් ශක්තිමත්ව නැගී සිටී. ඒ අවකාශය දිගු කලක පටන් මහජන අරගල වලින් දිනා ගත් නිදහසකි. එය සියම් නිකාය මෙන්ම මහා සංඝරත්නය ද භුක්ති විදීම සතුටට කරුණකි.

භික්ෂූන් හඩ දෙන්නේ ස්වෝත්තමවාදය වෙනුවෙන්

විධායක ජනාධිපති ක්‍රමය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කරන මූලික මිනිස් නිදහසට තර්ජනක් වන පාලන ක්‍රමයක් බව මුල් වරට විශ්ලේෂණාත්මකව ප්‍රකාශ කළේ ලංකා සමසමාජ පක්ෂයේ නායකයාව සිටි ආචාර්ය ඇන් එම් පෙරේරා ය. ඉන් අනතුරුව ඔහු කී දෙය ප්‍රායෝගිකව ඔප්පු කළේ 17 වසරක් තිස්සේ පීඩාවිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂගේ නායකකාරකාදින් ඇතුළු සමස්ත ජනතාවයි. අනතුරුව 1994 දී බලයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය යොදා ගනිමින් ගෙනගිය පාලනය නිසා එක්සත් ජාතික පක්ෂයේ නායකකාරකාදීන් මෙන්ම සමස්ත ජනතාව පීඩා වින්දහ.

මේ වනවිට විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හදුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයත් එහි රස බැලූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යන ප්‍රධාන පක්ෂ දෙකම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට එකග වී තිබේ. එහෙත් මහින්ද චින්තනය විසින් ශක්තිමත් කළ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී කොටස් තම ආත්මය ලෙස විධායක ජනාධිපති ක්‍රමය තෝරාගෙන තිබේ. රාජපක්ෂ පාලනය තුළ දී මෙන්ම ඉන් අනතුරුව ද මේ ස්වෝත්තමවාදී මතධාරීහු විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පැවතිය යුතු බවට කියමින් ඒ වෙනුවෙන් පෙනී සිටියහ. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය රැක ගැනීම සදහා  ඒකාධිපති ෆැසිස්ට් පාලනයක් අවශ්‍ය වන අතර විධායක ජනාධිපති ක්‍රමය ඊට මහගු පරිසරයක් නිර්මාණය කරයි.

සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වය මූලිකවත් ත්‍රෛයි නිකායික භික්ෂූන් මූලිකවත් මේ අවස්ථාවේ දේශපාලන අරමුණු සදහා ඒකාරාශීවීම හුදු සරළ කාරණාවක් නොවන්නේ මේ වපසරිය යටතේ තත්ත්වය විශ්ලේෂණය කරන විට දී ය. ඒ නිසා එම දේශපාලන ප්‍රකාශය හුදු ආගමික නායකයින් රටේ පාලනයට ලබාදුන් තවත් එක් අනුශාසනාත්මක අවවාදයක් ලෙස බැහැර කළ යුතු නොවේ. එම ප්‍රකාශය මේ මොහොත තුළ රට මුහුණ දෙන බරපතල දේශපාලන අර්බූදයට මුළුමනින්ම අදාළ විෂය මූලික කරුණු වලට සමීප සබදතාවක් පෙන්නුම් කරන්නකි. ඒ නිසා ත්‍රෛයි නිකායික මහා සංඝරත්නයේ දේශපාලන ප්‍රකාශය හා දේශපාලනිකව අවදිවීම බරපතල ලෙස සලකා බැලිය යුතුය.

සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයේ දේශපාලන ප්‍රකාශකයා වූයේ මහින්ද රාජපක්ෂයි

කෝපි කඩේ දේශපාලන විවේචකයන්ගේ හා දිවයින පුවත්පතේ ලිපි වලට සීමා වී තිබූ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී අදහස් ශක්තිමත්ව නැගී සිටියේත් ඊට රාජ්‍යයේ මූලික හැඩතල වල ක්‍රියාකාරීත්වය කළමනාකරණය කළ හැකිවූයේත් රාජපක්ෂ රෙජීමය 2005 දී බලයට පත්වූ විට ය. රාජ්‍යයේ න්‍යායාත්මක දේශපාලන හැසිරීම එතෙක් නන්නත්තාරව සිටි දේශපාලන ආන්තික තීරුවක අවශ්‍යතා මත තීරණය වූ අතර රාජ්‍යයේ සියළු ක්‍රියාකාරීත්වයන් ඒ වටා ගොනු වුණි. මේ නිසා සමාජ බෙදුම්කරණයට ලක්වන හැගීම් හා මතවාද සමාජය තුළ වර්ධනය වූයේ පිමි වශයෙනි. යම් මතවාදයකට රාජ්‍ය පිළි ගැනීම ලැබුණ විට එය සමාජය තුළ ශක්තිමත්ව ස්ථාපිතවීම සාමාන්‍ය තත්ත්වයකි. එනිසා එම විශේෂ වරප්‍රසාදය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයටත් උදාවුණි. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය විසින් කොටි සංවිධානයට එරෙහිව රජය විසින් ගෙන ගිය යුද්දය ශක්තිමත් කරන්නටත් යුද්දය විසින් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී මතවාදය ශක්තිමත් කරන්නත් එකිනෙක දායකවීම ආකර්ශනීය දේශපාලන භාවිතාවකි. ඒ නිසා සමාජයේ දේශපාලන සංස්කෘතිය, නීතියේ ආධිපත්‍ය ඇතුළු සියළු භාවිතයන් යළි අර්ථදැක්වුණි. එහි සමස්තයක් ලෙස රාජපක්ෂ රෙජීමය ව්‍යුහමය ලෙස සකස් වූ අතර සමාජය තුළ එය ස්ථාවර වීමේ පදනම ද එයයි. ඒ අනුව සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයේ දේශපාලන ප්‍රකාශයකයා වූයේ  මහින්ද රාජපක්ෂයි.

රාජපක්ෂවරුන් යළි බලයට ගෙන ඒමේ තැතක්

2015 ජනවාරී 08 වන දා රාජපක්ෂ රෙජීමය බිද දැමීමට මෙරට ප්‍රජාතන්ත්‍රවාදී කොටස් ශක්තිමත්ව කටයුතු කිරීමෙන් පසුව සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය පසු බැසීමකට ලක්වුණි. එහි මතවාදී ශක්තිමත්භාවය මෙන්ම ක්‍රියාකාරීභාවය ද රුවලක් නැති ඔරුවක් සේ විවිධ දිශානතියන්ට ගමන් කරමින් තිබුණි. යම් මතවාදයකට ඉන්ධන සැපයූ රාජ්‍ය බලය බිද වැටීම එම මතවාදයේ පැවැත්මට බලවත් තර්ජනයකි. රාජපක්ෂවරුන්ට රාජ්‍ය බලය අහිමිවීම සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයට බලපෑවේ කනගාටුදායක ලෙස ය.

අළු ගසා දමා රාජපක්ෂ දේශපාලනය කෙළින් කර ගැනීමට කොතෙක් මහන්සි ගත්තත් මහින්ද සුළග වාසුළියක් සේ එතැනම කැරකෙයි. එනිසා උත්සාහය ලත්තැනම ලොප් කරමින් රාජපක්ෂ දේශපාලනය කඩා වැටේ. ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මහින්ද රාජපක්ෂට තරග කරන්නට නීතිමය හැකියාවක් නොමැත. එහෙත් ඒ වෙනුවට වෙනත් සුදුස්සෙක් නම් කර ගැනීමට පවා රාජපක්ෂ දේශපාලනය අපොහොසත් වී සිටී. ක්‍රමයෙන් වයෝවෘද්ධ වෙමින් සිටින මහින්ද රාජපක්ෂ වෙනුවට අවම වශයෙන් තම සහෝදරයා වන ගෝටාභය රාජපක්ෂ හෝ තෝරා ගැනීමට ඔහු අකැමති ය. පවුලේ අභ්‍යන්තර දේශපාලන තොරතුරු වලට අනුව බැසිල් රාජපක්ෂට හෝ ගෝටාභය රාජපක්ෂට හෝ මහින්ද රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වීමට ඉඩකඩක් නොමැත. ඒ තරමට රාජපක්ෂ දේශපාලනය ව්‍යාකූලත්වයෙන් හා අර්බූදයන්ගෙන් පිරී ගොස් ඇත.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම මේ අර්බූදයට මහින්ද රාජපක්ෂ සතු පිළිතුරයි. එවිට අග්‍රාමාත්‍ය ධූරය සදහා තරග කරන්නට ඔහුට හැකිය. යම් හෙයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් තම වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂට කල් පිරෙන තෙක් අල්ලාගෙන සිටීම ඔහුගේ උපක්‍රමයයි. ඒ උපාය උපක්‍රමයන්ගෙන් පිරි රාජපක්ෂ දේශපාලනය තුළ අනෙකුත් බලවේග ශක්තිමත් වුවද මුළු එකක් ලෙස සමස්ත ව්‍යාපාරය ව්‍යාකූලත්වයෙන් ද ගැටුම්කාරීත්වයෙන් ද පිරී යමින් පවතී.

මේ නිසා මහින්ද රාජපක්ෂ වැටී ඇත්තේ අලි අමාරුවක ය. තමන් වටා ශක්තිමත් ජන කොටසක් සිටිය ද ආත්මාර්ථකාමී දේශපාලන අවශ්‍යතා නිසා එය කළමනාකරණය කර ගැනීමට ඔහු අසමත්ව සිටී. තමන් වටා සිටින ජන පිරිස කුල්මත්ව තබා ගැනීම සදහා වරින් වර උද්යෝගීමත්ව ජන රැළි පැවැත්වීම හැරුණ කොට වෙනත් ඵලදායි දේශපාලනයක යෙදෙන්නට ඔහු කිසිවක් සිදු කරන්නේ නැත. ඔහුගේ එකම අරමුණ වන්නේ කල් ගැනීම පමණ ය.

සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය පරාජය කරමු

එහෙත් ජනතාව උසි ගැන්වීම සදහා මහින්ද රාජපක්ෂ අත ප්‍රබල යතුරක් පවතී. ඔහු එය වරින් වර පාවිච්චි කරයි. මහින්ද රාජපක්ෂගේ දේශපාලනයේ අල්ලා හිටින එකම උපක්‍රමය වන්නේ ජාතිවාදය ඇවිසීමයි. ලංකාව වැනි සමාජයක ජාතිවාදයට ලොකු ඉල්ලුමක් පවතී. තම්න්ට අවශ්‍ය පරිදි කළමනාකරණය කර ගනිමින් ජාතිවාදය තුළින් දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීම ඔහුගේ හැකියාවයි. එය බිහිසුණු දේශපාලනයකි. එනිසා සමාජය තුළ ඇති කරන්නේ පරිහානිදායි තත්ත්වයකි.

මීට බොහෝ කලකට පෙර සියම් මහා නිකාය විසින් සම්මානයක් පිරිනමමින් මහින්ද රාජපක්ෂ සිංහලබෞද්ධ දේශපාලකක නායකයකු ලෙස ඉහළින් ඔසොවා තැබීම මේ මොහොතේ දී අමතක කළ නොහැක. මෙරට භික්ෂ සමාජය ආධිපත්‍යවාදී ලෙස නියෝජනය කරන්නේ ජාතිවාදයයි. මහාචාර්ය වල්පොල රාහුල වැනි විශිෂ්ට සංඝ නායකයන් සිටි භික්ෂු සංස්ථාව අද දේශපාලන විකටයන්ගේ පාංකඩ බවට පත්ව ඇත. එනිසා කල්යල් බලා සියම් නිකාය තෝරා ගත් සිංහලබෞද්ධ නායකයා අමතක කරන්නට ඔවුනට තවමත් නොහැකිවීම තේරුම් ගන්නට අපහසු කරුණක් නොවේ.

අද දවසේ ලාංකික සමාජය තුළ මුහුණ දී කළමනාකරණය කරගත යුතු ප්‍රබලම අභියෝගය වන්නේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයයි. කලක් ප්‍රබලව රාජ්‍ය බලය දරා එය අහිමිවීම ඔවුන්ව කුලප්පු කිරීමට සමත්ව ඇත. එනිසා කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ රාජ්‍ය බලය යළි ලබා ගැනීම ඔවුන්ගේ අරමුණයි. එනිසා සියම් මහා නිකායේත් ත්‍රෛයි නිකායන්ගේත් දේශපාලන මැදිහත්වීම සමාජය විසින් සැලකිය යුත්තේ තමන්ගේ පැවැත්මය එල්ල කළ ප්‍රබලම අභියෝගය ලෙස ය. ඒ අභියෝගය රාජපක්ෂ දේශපාලනයේ ප්‍රකාශයක් ලෙස ද තේරුම් ගත යුතු ය.

මෙම අභියෝගයට මුහුණදීම සදහා ආණ්ඩුවට ශක්තිමත් පිට කොන්දක් තිබිය යුතු අතර ආණ්ඩුව මොන අන්දමින්වත් තමන්ට ලැබුණ ජන වරම අමතක කළ යුතු නැත. අභියෝගය එල්ල කරන පාර්ශ්වයේ සිවිල් බලයට බිය වී පසු බැසීම නිවට කමක් මෙන්ම ජනවරම පාවාදීමකි. මෙවැනි අභියෝගයන් දේශපාලනිකව කළමනාකරණය කර ගැනීමේ හැකියාව ආණ්ඩුවට තිබිය යුතුය. එහෙත් කරු ජයසූරිය වැන්නෙකු කතානායක ධූරයෙහි සිරකර තබා විජේදාස රාජපක්ෂකු වැන්නකු මගින් එම කාර්යය ඉෂ්ඨ කර ගැනීමට උත්සාහ කිරීම උගහට ය.

ආණ්ඩුව මේ තීරණාත්මක මොහොත තුළ කල් බලමින් සම්ප්‍රදායි දේශපාලනයක යෙදෙමින් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයේ මිලේජකමට එරෙහිව සටන් නොකරන්නේ නම් එය සියතින් ගෙල සිද ගැනීමක් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.
 
| කේ.ජී.පිලිප් ශාන්ත

No comments:

Post a Comment