17 July 2017

රිමාන්ඩ් භාරයේ සිටින සිසුන් නිදහස්‌ නොකළොත් දෙමාපිය කමිටුව ජිනීවා යයි

සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියට ඇතුළුවී පොදු දේපළවලට හානි කළේ යෑයි කියමින් රිමාන්ඩ් භාරයට පත්කර සිටින. විශ්වවිද්‍යාල සිසුන් වහා නිදොස්‌ කර නිදහස්‌ නොකළොත් ඊට එරෙහි සියලු සාක්‍ෂි රැගෙන ජිනීවාහි අන්තර් ජාතික මානව හිමිකම් කොමිසම වෙත යාමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය කමිටුව තීරණය කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සහ වෛද්‍ය පීඨ හිටපු ක්‍රියාකාරි කමිටුව සමග ඊයේ (16 දා) පැවැති ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ලේකම් නීතිඥ ගාමිණී ඒකනායක සහ උප සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි යන මහත්වරු මේ බව සඳහන් කළහ.

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනය වහා අහෝසි කරන ලෙස හෝ ජනසතු කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය පීඨවල ඉගෙන ගන්නා හත්දහසකට ආසන්න ශිෂ්‍ය පිරිසක්‌ සිය අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සාධාරණය හා යුක්‌තිය ඉල්ලා මේ අවස්‌ථාවේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බවද අනෙකුත් සරසවි සිසුන්ද ඔවුන් සමග එක්‌ව ඇති බවද නීතිඥ ගාමිණී ඒකනායක මහතා පවසයි.

ශිෂ්‍යයින් අත්අඩංගුවට ගැනීම, ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර සිරගත කිරීම, සරසවි සිසුන්ට අමානුෂික ලෙස පහරදීම, ඇතුළු ශිෂ්‍ය මර්දන ක්‍රියාවන් සඳහා රජය උපරිමයෙන් මැදිහත්ව සිටින බව ඒකනායක මහතා ප්‍රකාශ කරයි.

තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා හමුවීම සඳහා අමාත්‍යාංශයට පැමිණ සරසවි සිසුන් කවර හෝ රජයේ දේපළකට හානි කිරීම පිළිබඳව සීසීටීවී කැමරා, ජංගම දුරකථන, රූපමය සාක්‍ෂි කිසිවක්‌ නැතැයි පැවැසූ ඒකනායක මහතා එදින සියලු සිදුවීම් සටහන්ව ඇති සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියේ ඇති සීසීටීවී කැමරා දර්ශන මාධ්‍ය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා සිටී.

සරසවි සිසුන්ට අමානුෂික ලෙස හිසට බැටන් ප්‍රහාර එල්ල කිරීම ඇතුළු වධ හිංසාවන්ට පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය දායක වූ ආකාරය සහිත රූපමය හා කැමරාමය සාක්‍ෂි තමන් සතුව ඇතැයිද විශ්වවිද්‍යාල සිසුන් වහා නිදොස්‌ කර නිදහස්‌ නොකළොත් එම සාක්‍ෂි රැගෙන ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත යාමට තීරණය කළ බවද වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ලේකම්වරයා කියා සිටී.

No comments:

Post a Comment