18 April 2017

ශ්‍රී ලංකාව යළිත් වරක් ලෝකයෙන්ම අංක 01ට


වඩාත්ම ආගමික නැඹුරුවක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටිනා බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. අමෙරිකාවේ ගැලප් සමාගම විසින් 2008, 2009 සහ 2015 යන වසර වල ලොව පුරා රටවල් හැට පහක වැසියන් යොදා ගනිමින් මෙහෙයවනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල සැලකිල්ලට ගෙන ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරන්නේ සමීක්ෂණයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් 99% ක් ම ආගමික නැඹුරුවක් සහිත පුද්ගලයන් බවට කරුණු හෙළිව ඇති බවය.

ඒ ඒ රටවල තෝරාගත් වැසියන් පිරිසකගෙන් ආගමික නැඹුරුව සම්බන්ධයෙන් විමසා බලා එක්රැස් කරගත් තොරතුරු වලට අනුව එම වාර්තාව සකස් කොට ඇති අතර ශ්‍රී ලංකාව, ඉතියෝපියාව, මලාවි, නයිජර් සහ යේමනය 99% ක ඉතාමත් ඉහල ආගමික නැඹුරුවක් ඇති රටවල් වශයෙන් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ.

ඒ අතර බුරුන්දි, සෝමාලියාව, ජිබූටි සහ මුරුතේනියාව ආගමික නැඹුරුව 98%ක ප්‍රතිශතයක් පෙන්නුම් කළ රටවල් වශයෙන් වාර්තාගතව තිබෙනවා. ආගමික නැඹුරුව අතින් දකුණු දිග යුරෝපයේ ඉතාලිය 74% සහ ග්‍රීසිය 71% වශයෙන් වාර්තා වී ඇති නමුත් බ්‍රිතාන්‍ය ජනතාවගෙන් ආගමික නැඹුරුවක් පෙන්නුම් කර තිබෙන්නේ 30%ක් පමණි.

ලොව පහලම ආගමික නැඹුරුවක් දක්වන රට වශයෙන් චීනය හඳුනාගෙන ඇති අතර චීන ප්‍රජාවෙන් ආගම වෙනුවෙන් නැඹුරුවක් ප්‍රදර්ශනය කොට ඇත්තේ 7%ක ප්‍රතිශතයකි. ඊට අමතරව ජපානය, එස්තෝනියාව, ස්වීඩනය, නොර්වේ සහ චෙක් ජනරජය ලොව පහලම ආගමික නැඹුරුවක් පෙන්නුම් කරන රටවල් බවත් එම සමීක්ෂණයෙන් හෙළි වේ.

කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් ලෝකයේ තරුණ පරපුර ආගමික නැඹුරුව කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන බව පෙන්වාදෙන සමීක්ෂණ වාර්තාව, අනාගතයේ රටවල ආගමික නැඹුරුවක් දක්වන ප්‍රතිශතය ඉහල යා හැකි බවට අනාවැකියක් ද පළ කරතිබෙනවා.

No comments:

Post a Comment