18 April 2017

මීතොටමුල්ල ඛේදවාචකය-මරණ 30 දක්වා ඉහළට-තවත් 30ක් අතුරුදන්



මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිද හමුදාව, පොලිස් නිලධාරීන් මෙන්ම කොළඹ දිසාපතිවරයා, කොළොන්නාව ප්‍රාදේශීය මහ ලේකම්වරයා, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර  නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් ද යොදවා ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, විපතින් ජීවිත අහිමිවූවන්ගේ අවමඟුල් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට ජනාධිපතිවරයා හා අග්‍රමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

කෙසේවෙතත් විපතට පත්වූවන්ට සම්පූර්ණ වන්දි ගෙවීමට හා ඔවුන්ගේ ජීවිත පෙර තිබූ තත්වයට වඩා යහපත් තත්වයට ගෙන ඒමට කටයුතු කරන බව ඊයේ(16)  දිනයේදී ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ආපදාවට ලක්වූ දේපළ තක්සේරු කිරීමේ කටයුතු අද (17) දින සිදුකිරීමට නියමිත අතර අවදානම් කලාපවල සිටින ජනතාව හඳුනාගෙන ඔවුන් සඳහා ද සුරක්ෂිත ස්ථාන පිළියෙළ කිරීමේ කටයුතු ද සිදුකිරීමට එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කොළොන්නාව ප්‍රදේශයේ ඉදි කරන ඇති නිවාස සංකීර්ණවලින් විපතට පත් ජනතාවට නිවාස ලබාදීම පිළිබඳ සොයා බලා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත උපදෙස් ලැබී ඇති බව වාර්තා වෙයි

කොළඹ ප්‍රදේශයේ කසළ බැහැර කිරීම පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment