17 May 2017

ලොවම කළඹන නායකයෙක් ගෙදර යවන්න පුළුවන් ඩොලර් බිලියන 175 ක අමුතුම ක්‍රමය මෙන්න



උතුරු කොරියානු නායක kim jong-un බලයෙන් පහකිරීම සඳහා කළ අමුතු යෝජනාවක් විදෙස් මාධ්‍ය වාරතා කර තිබෙනවා.

මෙම යෝජනාව කර ඇත්තේ Shepherd Iverson නම් දකුණු කොරියානු මහාචාර්යවරයෙකු විසින්.ඔහු විසින් අදාළ යෝජනාව සිදුකර ඇත්තේ ඇමෙරිකානු බලධාරීන් වෙතට සිදුකර ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එහිදී ඔහු විසින් යෝජනාකර ඇත්තේ ඒ සඳහා ඩොලර් බිලියන 175 ක මුදලක්‌ උතුරු කොරියානු ඉහළ නිලධාරීන්ට ලබාදීමයි.මීට අමතරව රටේ බලය වෙනත් පිරිසකට ලබාදීම සඳහා සහය වන හමුදාවට ඩොලර් බිලියන 12 ක්‌ ලබාදීමටද ඔහු යෝජනා කර තිබෙනවා.උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් බලයෙන් ඉවත් කිරීමට මෙම විශාල මුදල් ප්‍රමාණය සෑහෙන බවයි එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර උතුරු කොරියාව සිදුකළ නවතම මිසයිල අත්හදා බැලීම හෙළා දැකීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ ඒකමතිකව සම්මත කර ගනු ලැබුවා.එමෙන්ම තවදුරටත් මිසයිල හෝ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුනොකරන ලෙසටයි එමගින් අනතුරු ඇඟවූයේ.

උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ද ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.පසුගිය ඉරිදා අත්හදා බැලූ නව මාදිලියේ මිසයිලය මගින් විශාල න්‍යෂ්ටික අවියක් එල්ල කළ හැකි බවයි උතුරු කොරියාව ප්‍රකාශ කළේ.කිලෝමීටර් 2000ක් තරම් අසාමාන්‍ය ඉහළකට ගමන් කළ එම මිසයිලය කිලෝමීටර් 700ක් ඈතින් ජපාන මුහුදට පතිත වුණා.

ඒ සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැදවනු ලැබුවේ ජපානයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඉල්ලීමෙන්.

එසේම ලොව පුරා රටවල් 150කට වැඩි සංඛ්‍යාවක පරිඝනක තුන්ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට එල්ල වූ දැවැන්ත රැන්සම්වෙයා සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවෙන් එල්ල වන්නට ඇති බවට පරිඝනක ආරක්ෂක විශේෂඥයන් මත පළ කරනවා.

ගූගල් සමාගමේ පරීක්ෂක නීල් මේතා ප්‍රකාශ කළේ රැන්සම්වෙයා පරිඝනක වෛරසය උතුරු කොරියාව අනවසර පිවිසීම් සඳහා යොදා ගන්නා වෛරස්වලට බෙහෙවින් සමාන වන බවයි.

No comments:

Post a Comment