31 May 2017

ආපදා සමග වසංගත රෝග අවධානම දැඩිවෙයි



වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල පවතින ගං වතුර තත්ත්වයත් සමඟ ජලය මඟින් බෝවන  රෝග පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය  අමාත්‍යාංශය නිවේදනය කරනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ වැසිකිලි වලවල් ඉතිරීමෙන් සහ පසෙහි ඇති කුණු කසල සේදී යාමෙන් පානීය ජල මූලාශ්‍ර අපවිත්‍ර වී ඇති බවයි.

රක්ත අතීසාරය, පාචනය සහ මී උණ වැනි ජලයෙන් බෝ වන රෝග පැතිර යාමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

මෙම තත්ත්වය හමුවේ ජලය මඟින් බෝ වන රෝග පැතිර යාම වළක්වා ගැනීම සඳහා හැකි සෑම අවස්ථාවකම උණු කර නිවා ගත් පිරිසිදු ජලය හෝ බෝතල් කරන ලද ජලය බීමට ගන්නා ලෙස වසංගත රෝග විද්‍යා අංශය ඉල්ලීමක් කරනවා.

නල ජලය වුවද බීමට හා ආහාර පිරිසිදු කිරීම, සකස් කිරීමට හෝ ආහාර පිසීම සඳහා යොදා ගන්නේ නම් උණු කර නිවාගැනීම වඩාත් සුදුසු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ගං වතුරට යට වු ළිං නැවත භාවිතයට පෙර පිරිසිදු කර ක්ලෝරීන් යොදා විෂබීජ නාශනය කළ යුතු අතර ඒ සඳහා අවශ්‍ය  උපදෙස් හා ක්ලොරීන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබා ගත හැකි බව සඳහන්.

වැසිකිලි ජලයෙන් යට වී ඇත්නම් උස් බිමක පිහිටි වැසිකිලි පමණක් භාවිත කිරීමට හැකි සෑම විටම උත්සාහ ගන්නා ලෙසත් වැසිකිලි යාමෙන් පසු සෑම විටම සබන් යොදා අත් සෝදන ලෙසද වසංගත රෝග විද්‍යා අංශය ඉල්ලීමක් කළා.

No comments:

Post a Comment