31 May 2017

මහින්ද හා විරසකවූ හැටි ෆොන්සේකා හෙළිකරයි



මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ යුධ හමුදාපතිවරයා වශයෙන් සේවය කළ සමය හා ඔහු සමග විරසකවීමට හේතුව සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අනාවරණයක් සිදුකර තිඛෙනවා. මේ එම සම්පූර්ණ අනාවරණයයි.

දේශපාලනය පැත්තෙන් කතා කරන්නෙ ඇමැතිතුමා කියලා. සාමාන්‍ය රජයේ සේවකයෝ ෆීල්ඞ් මාර්ෂල්තුමා කියනවා. ඒ වචන දෙකෙන් තමයි දැන් මාව ආමන්ත්‍රණය කරන්නෙ. ඒ දෙකෙන් කොයි ආකාරයෙන් ඇමතුවත් මට ප්‍රශ්නයක් නැහැ.

■  ඔබතුමා අවුරුදු තිහක යුද්ධය දිනුවෙ කොහොමද?

එල්ටීටීඊය පටන් ගත්තු දවසේ ඉඳලම අපි හමුදාවෙ හිටියා. එයාලගෙ සටන් ක්‍රම,හැසිරීම, කරපු කියපු දේවල් වගේම ඒ කාලය පුරාම යුද හමුදාවේ තිබුණු දුර්වලකම් පිළිබඳව අවබෝධයක් තිබුණා. ඊට අමතරව සටන් ක්‍රම, අවි ආයුධ, යුද හමුදා පිළිවෙත් ගැන පළපුරුද්ද අප ලබලා තිබුණා. මේ ටික එකට සංකලනය කළාම යමෙකුට පුළුවන් වෙන්න ඕනේ, යම්කිසි සටනක් මෙහෙයවලා සතුරාව පරාජය කිරීමට සැලැස්මක් හදාගන්න. පොතෙන් උගන්නන්නෙ මූලධර්ම සහ මූලික සම්මත ක්‍රම. නමුත් ත්‍රස්තවාදීන් එක්ක කටයුතු කරද්දී ඒ ක්‍රමවලින් බැහැර වෙන්නෙ කොහොමද,ත්‍රස්තවාදියාගේ දුර්වලකම් හඳුනා ගන්නෙ කොහොමද කියන දේ හදාගන්න ඕනෙ. මට කලින් හිටපු ජ්‍යේෂ්ඨ අයට එයාලා හිටපු එක එක රෙජිමේන්තු හරහා මට ලැබුණු අත්දැකීම් එයාලට ලැබුණෙත් නැහැ. මම හිටපු සිංහ රෙජිමේන්තුවෙන් මට ඒ වාසිය ලැබුණා. අපි කොළඹ සැප පහසු තනතුරුවල වැඩිකල් හිටියෙ නැහැ. හමුදාපති වෙන්න කලින් මං කොළඹ වැඩ කරලා තියෙන්නෙ අවුරුදු හතරක වගේ කාලයක්. අනිත් සියලුම කාලය මං හිටියෙ මෙහෙයුම් ප්‍රදේශවල. ඒ නිසාම සැලසුම් කිරීම සහ සටන් ක්‍රම වෙනස් කිරීම මං හරියට කළා. මං යටතේ හිටපු හැමෝම මං කරපු ඒ වෙනස්කම් පිළිගත්තා. පිට කෙනෙක් ඇවිත් කියනවට වඩා සටනේම ඉඳපු කෙනෙක් කියද්දි සෙබළුන්ගෙ හිතේ ඒ පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟුණා. දේශපාලනඥයෙක් ඔය දේ කිව්වා නම් කවදාවත් පිළිගන්නෙ නැහැ. ඒක තමයි හමුදාවල හැටි. මං කරපු වෙනස්කම් ඒ අය පිළිගත්තා. ඒවාට පුරුදු පුහුණු කළා. අවශ්‍ය සම්පත් ලබා දුන්නා. එහෙම කියලා හිටපු රජයෙන් නවීන අවි ආයුධ මොනවත්ම ලැබුණෙ නැහැ. මං බාරගනිද්දි තිබුණු අවි ආයුධ, යුද්ධ ටැංකි, කාලතුවක්කු ඒවමයි තිබුණෙ. නමුත් මම හමුදාවේ බලය වැඩිකර ගත්තා. මං බාරගනිද්දි හමුදාවට එක්ලක්ෂ තිස් දෙදහක අවශ්‍යතාව තිබුණා. නමුත් හිටියෙ එක්ලක්ෂ දාසය දාහයි. ඒ තිස් දෙදහවත් පුරවාගන්න බැරි වුණා. අවුරුද්දකට බැඳුණෙ හාරදාහයි. නමුත් මාසෙකට හාරදාහ ගානෙ බඳවා ගන්නට මට හැකියාව ලැබුණා. ඒ කටයුත්තෙදි යම්කිසි ධෛර්යයක් රටේ ජනතාවත් දුන්නා. ඒ හැමදේමත් එක්ක මට යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවන්න ලැබුණා. අවුරුදු දෙකයි මාස නවයක්ම යුද්ධයේ ඉඳගෙන විශාල කැප කිරීමක් කරන්න වුණා. ඒවායේ ප්‍රතිඵල ලැබුණා.

■  මහින්ද රාජපක්ෂ, ගෝඨාභය, ෆොන්සේකා කියන මේ සාධක තුනම යුද ජයග්‍රහණයට හේතු වුණේ නැද්ද?

මහින්ද කියන සාධකය ජනාධිපති විදියට අලුත් දෙයක් කළේ නැහැනෙ. කලින් හිටපු ජනාධිපතිවරු කරපු දේම තමයි කළේ. වෙනසකට කළේ මාව හමුදාපති කරගත්තු එක. එයා ජනාධිපති වෙන්න කලින් අපි හිතවත්ව හිටියා. එයාට හිතවත්තු නැති කාලේ, එයා විපක්ෂ නායකයා කාලෙත් මම එයා එක්ක හිතවත්ව හිටියා. ඒ පසුබිම මත එයා මාව හමුදාපති කරන්න හිතන්න ඇති. මං එයාගෙ විශ්වාසය කවදාවත් කඩ කළේ නැහැ. එයා අපට අමුතු නියෝගයක් දුන්නෙ නෑ. සටන් ක්‍රම ඉගෙන්නුව නෑ. අවි ආයුධ අමුතුවෙන් දුන්නෙ නෑ. මං හමුදාපති වෙන්න කලිනුත් යුද හමුදාවට වර්ෂයකට බිලියන 82ක් වෙන් වුණා. මං යුද්ධ කරන කාලෙත්, තිබුණු හමුදාවට තව අසූපන් දහසක් එකතු කරගෙනත්, ඒ බිලියන අසූ දෙකෙන්ම හමුදාව නඩත්තු කළා. එයත් නියෝග දුන්නා. ජේ.ආර්. මහත්තයත් නියෝග දීලා තිබුණා. ප්‍රේමදාස මහත්තයත් දුන්නා. චන්ද්‍රිකා මහත්මියත් නියෝග දුන්නා. එතුමියගෙ කාලයේ තමයි හමුදාවට වැඩිපුර අවි ආයුධ එහෙම ආවෙ. මහින්ද රාජපක්ෂ නවීන අවියක්වත් ගත්තෙ නෑ. මං බාරගනිද්දි යුද ටැංකි අසූවක් තිබුණා. යුද්ධය ඉවර වෙද්දි ඒවා තිහකට බැහැලා තිබුණා. ඒ පරණ යුද ටැංකි නඩත්තු කරගන්න අමතර කොටස් ගන්නවත් සල්ලි දුන්නෙ නෑ.

ගෝඨාභයගෙන් තිබුණු වාසිය වුණේ මං කියන දේවල් අයියා නිසා ගිහින් මහින්ද රාජපක්ෂට කිව්වා. ගෝඨාභයට කලින් හිටපු ආරක්ෂක ලේකම්ලට තිබුණු ප්‍රශ්නයක් එයාට අයියත් එක්ක තිබුණෙ නැහැ. මං නිර්දේශ කරපු කිසිම දෙයක් කවදාවත් ප්‍රතික්ෂේප කළේ නැහැ. මගේ හැටි දන්න නිසා එයා කිසිම දේශපාලන ඇඟිලි ගැහීමක් හමුදාවට කළේ නැහැ. එක අවස්ථාවක දී පමණක් ගෝඨාභය රාජපක්ෂගෙ බිරිඳ,මේසන්ලා හතර දෙනෙක් ඉල්ලුවා, බෙලිඅත්තෙ එයාලගෙ කෝකියට ගෙයක් හදන්න. මම ගෝඨාභය රාජපක්ෂට කිව්වා “ඔයාගෙ බිරිඳ මෙහෙම ඉල්ලීමක් කරනවා. මට ඒක කරන්න බෑ” කියලා. ඒ ඇරෙන්න මට කිසිම ඇඟිලි ගැහීමක් කවදාවත් කළේ නැහැ.

■  යුද ජයග්‍රහණයේ ප්‍රධාන සාධකයක් තමයි, තරුණ ජෙනරාල්වරු රාශියක් එකවර පත්කිරීම. මේ තීරණය ගත්තෙ කොහොමද?

හමුදාවෙ ගොඩක් ප්‍රශ්න තිබුණා. ජ්‍යේෂ්ඨත්වයට හැමදේම දෙද්දි, ඒ මිනිස්සු කකුල් වන වනා හිටියා. මොකද වැඩ නොකළත් ජ්‍යේෂ්ඨත්වයට තනතුරු ලැබෙනවා. ජ්‍යේෂ්ඨත්වයට පිට පත්වීමක් වත් දෙන්න හිටපු හමුදා ප්‍රධානීන් මැලි වුණා. මේක අපේ හමුදාවෙ තිබුණු විශාල පසුබෑමක්. ගෝඨාභය රාජපක්ෂට මං මුලින්ම කිව්වා, යුද්ධය දිනන්න නම් යම් යම් වෙනස්කම් කරන්න ඕනෙ කියලා. ඒ වෙලාවෙ මට කිව්වෙ,ඔයාට ඕනෙ දෙයක් කරලා හමුදාව සුද්ද කරන්න කියලා. හැබැයි යුද්දෙ දිනුවට පස්සෙ මට සුද්ද කරන්න දුන්නෙ නැහැ. මං එළවපු අය සේරම ගෙන්නලා උසස්වීම් දුන්නා. වැඩ කරපු අයව ගෙදර යැව්වා. වැඬේ කරගන්න ඕන හින්දා ඒ වෙලාවෙ එහෙම කිව්වා. හැබැයි මම දේශපාලනයට ගියපු හැටියෙ, මං එළවලා පැත්තක දාලා හිටපු අයව ගෙනත් උසස් වීම් දුන්නා. හමුදාපති කළා. හමුදාවෙ දෙවැනියා කළා. හමුදා මූලස්ථානයේ තිබ්බා. මහන්සි වෙලා වැඩ කරපු තිස් පහක් විතර ගෙදර යැව්වා. ඔය අතරෙ ගෝඨාභයට හිතවත් කේලම් කියපු පිරිසකුත් හිටියා. තමන්ගෙ ළඟින්ම ඉන්න අයට වඩා පහළින් ඉන්න අයව ළං කරගෙන කල්ලි හදන එක ගෝඨාභයට හමුදාවෙ ඉන්න කාලයේ ඉඳලම තිබුණු දුර්වලකමක්. එහෙම කරන්න ගිහින් තමයි සිංහ රෙජිමේන්තුවෙ සෙබළු එළව එළවා ගැහුවෙ. මාසයක් හැංගිලා හිටියා. සේනාංකාධිපතිවරු පත්කරද්දි මං සියල්ල සම්පූර්ණ සෙබළු නෙවෙයි දැම්මෙ. මං කියන දේ තේරුම් ගන්න, කියන දේ කරබාගෙන කරන පිරිසක් තමයි මං පත් කළේ. ඒ හැමෝගෙම පත්වීම් ගෝඨාභය අනුමත කළා. අද පොත් ලිය ලියා එක එක දේ කළාට එදා කියන දේ කරපු මිනිස්සු.

■  යුද්ධය සම්බන්ධව කමල් ගුණරත්න මහත්මයා ලියපු පොතේ ප්‍රභාකරන්ගෙ මරණය සම්බන්ධව ලියවිලා තියෙනවා. මේ සම්බන්ධව ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නෙ?

මොකක්ද ඔය පොත. මම කියවලා නෑ.

■  ප්‍රභාකරන් මැරුණයි කියලා ඔබතුමාට කෝල් කරලා කිව්වම ඔබතුමා බැන්නයි කියන කතාව?

ඔය වගේ යුද්ධය පැවති මොහොත ඇතුළත හතර පස් දෙනෙක්ම මට ඒ කතාව කියලා තියෙනවා. ඔය පුද්ගලයම එක වතාවක් කිව්වා ඇම්බියුලන්ස් එකක් කඩාගෙන යද්දී අපේ අය වෙඩි තිබ්බා ප්‍රභාකරන් මැරුණයි කියලා. ඒ නිසා එයා කියන හැම වචනයක්ම පිළිගන්න මම සූදානමින් හිටියෙ නැහැ. කියනවා නම් සාධක ඕනෙ. කියපු හැටියෙ මම කිව්වා “තමුසෙ කොහොමද කියන්නෙ ප්‍රභාකරන් මැරුණයි කියලා. කියන්න හේතු මොනවද කියලා මට හරියට චෙක් කරලා කියන්න” කියලා. බොඩි එක තියෙනවා අපේ අය කියනවා කියලා කීවත් මම එතැනට කරුණව යැව්වා. කරුණා ඒ ප්‍රභාකරන් කියලා හඳුනාගත්තා. තව තැනක තිබුණු සිරුරු කිහිපයකින් කරුණා ප්‍රභාකරන්ගෙ පුතා හඳුනාගත්තා. ඒත් මම ඒ දෙන්නවම විශ්වාස නොකර යුද හමුදා රෝහලේ වෛද්‍යවරු දමලා ඩී.එන්.ඒ. ටෙස්ට් එකක් කළා. ඊටත් පස්සෙ තමයි මම පිළිගත්තෙ. කවුරු හෝ කියන දෙයක් පිළිඅරගෙන මාධ්‍යයට දීලා, අවසානයේ පැය විසිහතරකට පස්සෙ ප්‍රභාකරන් තව තැනකින් මතු වුණොත්, එතනදිත් ලැජ්ජාවට පත්වෙන්නෙත් මම. එතනදි මම වැඩ කළේ වෘත්තීමය ක්‍රමයට අනුව.

Fonseka02

■  ඔබ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සමඟ කිරියි පැණියි වගේ හිටියා. මේ විරසකය ඇති වුණේ කොහොමද?

මම හැමදාම ඉතාම අවංකව භක්තියෙන් වැඩ කළා. ආරක්ෂක ලේකම් හමුදාවෙ හිටපු මටත් වඩා කනිෂ්ඨ පුද්ගලයෙක්. නමුත් ආරක්ෂක ලේකම් පදවියට ආවම මම ඔහුට සර් කියලත් කතා කළා. පළමු දවසෙ සර් කිව්වම ඔහු මට සර් කියන්න එපා කියලා කිව්වා. ඒත් ඔහු ඒ පුටුවෙ ඉන්නා තුරු, මම නිල ඇඳුම අඳිනතුරු ඔහුට සර් කියලා කතා කළා. ඒ වගේ සියයට සියයක් අවංකව රාජකාරිය කළේ. හැබැයි යුද්ධය අවසාන වේගෙන එද්දි මේ අය මගේ කකුලෙන් අදින්න පටන් ගත්තා. යුද්ධයේ අවසානයේ අන්තිම මොහොතෙ, ත්‍රස්තවාදීන් කිලෝමීටර දහය දහය වගේ සීමාවකට කොටු කරලා තියෙද්දි, ගෝඨාභය මට කියනවා, “සරත් ඔයා දැන් අවුරුදු දෙකක් විතර මේක මහන්සිවෙලා කළානෙ, දැන් වව්නියාවෙ ඉන්න ජගත් ජයසූරියට ඕක බාරදෙන්න”කියලා. යුද්ධය අවසාන මොහොතෙත් අනිත් පැත්ත ගහන්න පුළුවන් කියන එක එයාට තේරුණේ නැහැ. ඉතින් මට ටිකක් විවේක ගන්න කියනවා. එදා මට ගෝඨාභය වෙනස් වෙලා නැහැ කියන එක තේරුණා. කොහොම හරි සටන ඉවර වුණා. මැයි 18 හවස අපට උසස්වීම් දුන්නා. 19 උදේ පාර්ලිමේන්තුවෙ කතා කරනවා. ඒ වෙද්දිත් සටන යනවා. මම පාර්ලිමේන්තුවෙ ඉඳලා එද්දි ප්‍රභාකරන් මැරුණා කියන ආරංචිය ආවෙ. මැයි 18 හවස ගෝඨාභය මාව බදාගෙන ඉම්බා. “කොහොමද සරත් මේක කළේ”කියන සතුට ඔහු තුළ තිබුණා. 20 වෙනිදා ගුවන් හමුදාව කටුනායක දී මේ ජයග්‍රහණය සැමරුවා. නාවික හමුදාව ත්‍රිකුණාමලයේ පෙළපාලි ගිහින් මේ ජයග්‍රහණය සැමරුවා. මම යුද හමුදා මූලස්ථානයේ පාබල සෙබළු හැම රෙජිමේන්තුවෙන්ම ගෙනල්ලා පෙළපාලියක් ගියා. ඉන්පසුව මාධ්‍ය හමුවක් කැඳෙව්වා. එතනට මම යන්න යද්දි ගෝඨාභය කතා කරලා ඒ මාධ්‍ය හමුව අවලංගු කරලා. මම එහෙම කළේ ඇයි කියලා ඇහුවම, පස්සෙ අපි හැමෝම එකතු වෙලා කරමුකො කිව්වා. මම දැනගත්තා මෙයා දැන් ඉන්නෙ අර පරණ මානසිකත්වයෙන් කියලා. මාත් එක්ක අනිවාර්යයෙන් ගැටුමක් එනවයි කියන එක මම දැනගත්තා. දැන් රූපවාහිනී වැඩසටහන් ඉවරයක් නැතිව යනවා. සති දෙකකට විතර පස්සෙ මට කියනවා හමුදාව බාරදෙන්න කියලා. “තවම බාර දෙන්න බෑ. මගේ මිනිස්සු තවම ගස් යට, බෝක්කු යට, කැලෑ අස්සෙ, පඳුරු යට ඉන්නෙ” කියලා මම කිව්වා. ඒ අයගෙ පහසුකම් හදලා දෙනකන් මට මාස හයක් විතර දෙන්න කියලා මම කිව්වා. මාස එකහමාරකින් ආයෙමත් කිව්වා ආපහු බාරදෙන්න කියලා. ඉතින් මම බාර දුන්නා. යුද්ධය ඉවර වෙන්න මාස දෙකකට විතර කලින් සී.ඩී.එස්. පනත පුදුම හදිසියකින් පාර්ලිමේන්තුවට දමලා සම්මත කළා. ඒ කාලයේ ඉඳලම මාව එතනට දාන අදහස ඔළුවෙ තිබිලා තියෙනවා. ඉස්සර තිබුණෙ ත්‍රිවිධ හමුදාවෙ සම්පූර්ණ මෙහෙයුම් කරන්නෙ සී.ඩී.එස්. මේ පනතෙ සී.ඩී.එස්. තියෙන්නෙ ආරක්ෂක ලේකම් කියන දේ කරන්න විතරයි. මෙහෙයුම් වගකීමක් ඇත්තෙම නැහැ. මාව ඕකට දාන්න තමයි මෙයා දුවගෙන ආවෙ. මාව එතැනට දැම්මම මම කතා කරලා ඇහුවා මේ පනතෙ විදියට මට වැඩක් නැහැ. ඇයි මේකට මෙහෙයුම් වගකීම් නැත්තෙ කියලා. ඕනම රටක සී.ඩී.එස්. කියන්නෙ මෙහෙයුම් වගකීම් තියෙන ප්‍රධානියා. අනිත් හමුදාපතිවරුන් සාකච්ඡාවකට කැඳවලා ගෝඨාභය කියනවා, සී.ඩී.එස්.ට මෙහෙයුම් බලතල දෙන එක භයානකයි කියලා. එදා මම තීරණය කළා මට මේ අයත් එක්ක ඉන්න බැහැයි කියලා. ඒ මානසිකත්වයත් එක්ක මම අයින් වුණා.

■  ඔබතුමා ගැන රාජපක්ෂලාට බියක් තිබුණද?

එයාලගෙ හිතේ බයක් තිබිලා තියෙනවා. සරත් ෆොන්සේකා කියන පුද්ගලයා ජනප්‍රිය වෙනවා කියන බයත් එක්ක මගේ කේන්දරයත් බලලා තියෙනවා. ඒ බැසිල් රාජපක්ෂ. මට එයාලට විරුද්ධව කුමන්ත්‍රණ කර කර ඉඳීමේ අවශ්‍යතාවක් නැහැ.

■  2010 ඔබ පොදු අපේක්ෂකයා වෙන්නෙ කොහොමද?

මම ඇති වුණු තත්ත්වයත් එක්ක අයින් වුණා. ඒ එක්කම මුළු රටේම මිනිසුන් අතරෙ මතවාදයක් ඇති වෙනවා, කරපු වැඬේ වැරැදියි කියලා. මාව අයින් කරන්න ඕනෙ නිසාමයි කරන්නාගොඩවත් ඇරියෙ. දේශපාලනයට මට කවුරුත් කතා කළේ නැහැ. ඔය අතරෙ නොවැම්බර් 11 වෙනිදා ආරක්ෂක කවුන්සිලයෙන් පස්සෙ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා කිව්වා දවල් කෑමෙන් පස්සෙ මට ටිකක් කතා කරන්න ඕනෙ කියලා. මම අරලියගහ මන්දිරයේ නැවතුණා. අනිත් අය ගියා. පැය දෙකක් කතා කළා. මට කරන කෙනෙහිලි ගැන සේරම මම එයාට කිව්වා. මේ වැඩත් එක්ක මට ඔබතුමා එක්ක වැඩ කරන්න බැහැයි කියලා මම කිව්වා. මම හිතුවා එතනදි එයා සාධාරණව කතා කරයි කියලා. මට ඇහුම්කන් දෙයි කියලා. නමුත් එතනදි සාධාරණීයකරණය කරන්න හැදුවෙ එයා කරන වැඩ. ඔබතුමා එක්ක කතා කිරීමෙන් වැඩක් නෑ. මම යනවයි කියලා නැඟිට්ටා. දොර ගාවට ඇවිත් මගේ පිටට තට්ටු කරලා කියනවා, “මගේ ගාව ඉඳලා ගිය සේරම ආපහු ආවා. ඔයාටත් එන්න හිතුණොත් එන්න”කියලා.

“ඔබතුමා අවුරුදු තුනක් ගියත් මාව තේරුම් අරගෙන නෑ. මම ආපහු ඔබතුමා ළඟට එන්නෙ නෑ, හිඟාකන්න වුණත්” කියලා සැලියුට් එකක් ගහලා මම ගියා. මම කාර්යාලයට ඇවිත් අස්වීමේ ලිපිය හැදුවා. 12 වෙනිදා උදේ ජනාධිපති කාර්යාලයට ලිපිය යැව්වා. මගේ අස්වීම ගැන මගේ බිරිඳ දැනගත්තෙත් රූපවාහිනියෙන්. ඒ වෙද්දි කවුරුත් මගේ තීරණය දැනගෙන හිටියෙ නෑ. එළියට ආවට පස්සෙ එජාපයත් ජවිපෙත් මට කතා කළා. පස්සෙ ඒ නායකයන් දෙපාරක් හමුවෙලා සාකච්ඡා කළා. එතනදි අවසාන තීරණයකට ආවා.

■  ඔබතුමා හමුදාවෙන් යන්න බලපෑ ප්‍රධාන හේතුව?

මං මහින්ද රාජපක්ෂගෙ වැඩවලට විරුද්ධව නැඟී සිටියා. ඒ නිසයි මං හමුදාවෙන් ගියේ. ඒ අවස්ථාවෙ යුද්ධය දිනපු ආණ්ඩුවේ නායකයා කියලා මහින්ද රාජපක්ෂට ලොකු අවස්ථාවක් තිබුණා. ඒ වාතාවරණය අනුව කවුරුත් නාමයෝජනා දෙන්න කැමැති වුණේ නැහැ. ඒ නිසා එයාලා මගෙන් ඉල්ලීමක් කරලා බලන්න හිතන්න ඇති. ඒ ඇරෙන්න කිසි කෙනෙක් මට ඔවැනි යෝජනා ගේන්න තරම් කවුරුත් ළං වෙලා හිටියෙ නෑ. මට එක එක යෝජනා ගේන්නවත්, මගෙ පෞද්ගලික ජීවිතය ගැන හොයන්නවත් කවුරුත් මට ළං වෙලා හිටියෙ නැහැ.

■  ඔබතුමා එදා පැරදුණාද. නැත්නම් කියපු විදියට කම්පියුටර් ජිල්මාට් එකක් වුණාද?

කම්පියුටර් ජිල්මාට් එකක් වුණයි කියලා මම හිතන්නෙ නැහැ. දිස්ත්‍රික්ක හයක ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල අයව රෑ 12 වෙද්දි ගහලා එළෙව්වා. අවි අරගෙන ඇවිත් ගම්පහ මර්වින් සිල්වා සහ මැරයො, කුරුණෑගල, මාතලේ,  නුවර, රත්නපුර, අනුරාධපුර ඒ වගේ අක්‍රමිකතා කරලා ප්‍රතිඵල වෙනස් කළා. අදටත් මැතිවරණ කොමසාරිස් ජනතාව ඉන්න තැනකට එන්නෙ නැහැ. හැංගිලානෙ ජීවත් වෙන්නෙ. එදා ඔහුගෙ ඔළුවටත් පිස්තෝලෙ අල්ලලා, ඔහුගෙ ගෙවල්වලට දරුවන්ගෙ ගෙවල්වලට, ඔහුගෙ කාර්යාලයට ගිහින් බලපෑම් කළා. ඔහු මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කරන  තැන ඉදිරියෙන් සහ පසුපසින් හමුදා නිලධාරීන් ගමන් කරනවා. එහෙම අයිතියක් තියෙනවද. නියෝජිතයන් ගහලා එළෙව්වා. එයාලා අත්සන් නොකරපු ප්‍රතිඵල ලේඛනයක් තමයි අවසානයෙ ඉදිරිපත් කළේ. ලක්ෂ දහඅටක පරතරයක් එයාට ගන්න පුළුවන් නම් ඒක ලෝක පුදුමයක්. එදා මගේ මැතිවරණ වේදිකාවට ගලපු ජන ගඟට අනුව මම දිනන එකේ කිසිම සැකයක් නැහැ. තිබුණු මැතිවරණ හැම එකකින්ම හිටපු පාලකයා පරාදයි. 2005 ත් පරාදයි. 2010 ත් පරාදයි. මේ පාර විදේශ බලපෑම් තිබුණු නිසා, විදේශීය නිරීක්ෂකයො හිටපු නිසා මොනවත් කරන්න බැරි වුණා. නැත්නම් මෙවරත් ඔහු දිනනවා.

■  ඔබ එදා මැතිවරණයෙන් පස්සෙ, සිනමන් ලේක්සයිඞ් හෝටලයේ උදේ ඉන්න වෙලාවෙ, හමුදාව එතන වටකරද්දි මේ දේශපාලනය ගැන මොකද හිතුණෙ?

එදා හමුදාවෙ මානවඩු කියන පුද්ගලයා, 57 වන සේනාංකයට අණ දෙන්න දැම්මෙ මම. එක මොහොතක ත්‍රස්තවාදීන්ගෙන් එක ප්‍රති ප්‍රහාරයයි ආවෙ, හමුදාව කිලෝමීටර තුනක් විතර පස්සට ආවා. එදා මේ මිනිහා ඇවිත් අඬලා කිව්වා ඒක කරන්න බැහැ කියලා. ඉතින් මම එයාව ඒ තනතුරෙන් අයින් කළා. ඒ වෙනුවට මම එතැනට ජගත් ඩයස්ව දැම්මා. ඒ වෙලාවෙ අසමත් වුණු නිලධාරීන් රාජපක්ෂලා ළංකර ගත්තා. ආයුධයක් නැතිව ඉන්න මිනිහෙක්ව හමුදාවෙ ඉන්න ඕනෙම නිවටයෙකුට වට කරන්න පුළුවන්. හමුදාවෙ හිටපු නියම සිංහ මානසිකත්වයක් තිබුණු කෙනෙක් ඒ වගේ වැඩ කරන්න එන්නෙ නැහැ. මානවඩු ආවම මගේ හිතට බයක් ආවෙ නැහැ. මං දන්නවා මෙතන ඉන්නෙ නොම්මර එකේ නිවටයෙක් කියලා. ඒ සෙබළුන් සමහරු සැලියුට් කරා. සමහරු භක්තියෙන් ඔළුව නැව්වා. ප්‍රතිඵලය වෙනස් කරලා කියලා අපි දැනගෙන හිටියත් ඒ වෙද්දි ඒ වෙනුවෙන් සටන් කරන්න ශක්තියක් විපක්ෂයට තිබුණෙ නැහැ. එදා විරුද්ධ පක්ෂය ගොඩක් දුර්වලව හිටියෙ. ඒ වෙද්දි නියෝග දීලා තිබුණා ප්‍රතිඵල නිකුත් කරලා විනාඩි පහකින් වගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් විය යුතුයි කියලා. මම ගෙදර ගියා. ප්‍රතිඵල නිකුත් කරලා විනාඩි පහකින් ආරක්ෂාවට හිටිය අය යන්න ගියා. මමයි මගේ ගෙදර අයයි විතරයි එදා ගෙදර හිටියෙ. වෙන කෙනෙක් නම් ගිහින් හැංගෙනවා. මම හැංගුණේ නැහැ. හමුදාවෙන් දුන්නු පිස්තෝලයයි පතරොම් දහයකුයි තිබුණා. ඒ විතරයි මගේ ආරක්ෂාවට තිබුණෙ. එන දේකට මුහුණ දෙනවයි කියලා හිටියා. ගෝඨාභයලා, මහින්ද රාජපක්ෂලා බලය තියෙන වෙලාවට මොළය විකෘති වෙලා දැඟලුවට ඔය මිනිස්සු නිර්භීත මිනිස්සු නෙවෙයි කියලා මම දන්නවා. ඒ නිසා මට බයක් ආවෙ නැහැ.

■  පස්සෙ ඔබතුමාව ඇදගෙන ගිහිල්ලා හිරේ දැම්මා. එදා මොකද හිතුණෙ?

මැතිවරණයට එද්දි පැරදුනොත් මේ මේ දේවල් වෙයි කියලා මම දැනගෙන හිටියා. මගේ දරුවන්ට, පවුලට හිරිහැර කරයි කියන එක මම බලාපොරොත්තු වුණා. 12 වෙනිදා මගේ අස්වීමේ ලිපිය දෙන්න කලින් ශිරන්ති රාජපක්ෂ මගේ බිරිඳට එන්න කියලා, ඒ දෙන්නා පැය දෙකක් සාකච්ඡා කළා. අන්තිමට මගේ බිරිඳ කියලා තිබුණා,මට කියන්න බෑ සී.ඩී.එස්.ට කරන්නෙ මොනවද කියලා එයා තීරණය කරාවි කියලා. එයාලා ඒ දවස්වල ගොඩක් හිතවත්ව හිටියා. ඒ වෙලාවෙ ශිරන්ති රාජපක්ෂ කියලා තිබුණා, ගෝඨාභය අයින් කරලා එතැනට මාව දාන්න කියලා මහින්ද රාජපක්ෂට කියනවා කියලා. එහෙමත් කියලා අන්තිමට කිව්වලු, මහින්ද රාජපක්ෂ කියන්නෙ සතෙක් වගේ මිනිහෙක් ඔයාලා පරිස්සම් වෙන්න කියලා.

■  ඔබතුමා හිරේ ඉඳිද්දි මේ හඬ සිරගත කළ නොහැක කියලා පාර්ලිමේන්තු මැතිවරණයකට ගියා. අද ඔබට ඒ ගැන මොනවද හිතෙන්නෙ?

ඒ වෙලාවෙ මට එජාපයෙනුත් නාමයෝජනා දෙන්න සූදානම් වුණා. එයාලා කිව්වෙ කැලණියෙන් ඉල්ලන්න කියලා. මම හිරේ. මගේ බිරිඳට තමයි මැතිවරණ ව්‍යාපාරය කරන්න වෙන්නෙ. කැලණිය කියන්නෙ මර්වින් සිල්වා කියන දාමරිකයා හැසිරෙන තැනක්. ඒ අවස්ථාවෙ මගේ බිරිඳට ගිහින් කැලණියෙ දේශපාලනයක් කරන්න බැහැ. ඒක එජාපය දැනුවත් කරලා කොළඹින් දෙනවා නම් ඉල්ලනවා කියලා මම කිව්වා. කොළඹින් බෑ කිව්වා. ජවිපෙ ආරාධනා කළා. එළියෙ අර්ජුන රණතුංග සහ ටිරාන් අලස් හිටියා. ඒ අය තමයි ජවිපෙත් එක්ක සාකච්ඡා කළේ. මට සාකච්ඡාවට එන්න අවස්ථාවක් නැහැ. මම ඇතුළෙ. නමුත් ඒ එකඟතාව මත අපි හදිසි තීරණයක් ගත්තා. ඒ තීරණය නිවැරැදිමයි මම කියන්නෙ නැහැ. නමුත් ඒ තීරණයට අනුව අපි ඒ වෙලාවෙ කැප කිරීමක් කළා. 2010 මම ගත්තු ඒ තීරණය වෙලාවෙ හැටියට නිවැරැදියි කියලා හිතනවා.

■  ඔබතුමා හිරෙන් එළියට ආවට පසුව එදා හිටිය දේශපාලකයන් ඔබෙන් ඈත් වුණාද?

හිරෙන් එළියට ආවට පස්සෙ එජාපයත් එක්ක දේශපාලනය කරනවද නැද්ද කියන විකල්පය මට තිබුණා. එජාපයේ හිටපු තිස්ස අත්තනායක ආදීන් අනවශ්‍ය ප්‍රකාශත් කළා. අගමැතිතුමා දෙතුන් වතාවක් මාව බලන්න ආවා. නමුත් එජාපය මා වෙනුවෙන් එවැනි විශාල කැප කිරීමක් කළයි කියලා හිතන්න බෑ. එළියට ආවට පස්සෙ මට තිබුණෙ මහින්ද රාජපක්ෂට විරුද්ධව සටන ගෙන යාමේ අවශ්‍යතාව. එළියට ඇවිත් ඩබල් කැබ් එකක් උඩට නැගලා මම කිව්වෙ 2015 ට කලින් මහින්ද රාජපක්ෂව ගෙදර යවනවයි කියලා. බොහෝ පිරිස් මම පිස්සු දොඩවනවයි කිව්වා. එජාපයට කිව්වා නම් ඒ සටන මට ඕනෙ විදියට ගෙනයන්න බැරි වෙනවා. ඒ කාලයෙ දි තමයි මම පක්ෂයක් පිහිටුවා ගන්නෙ. එතන දි නොයෙක් නොයෙක් මතභේද ඇවිත් සමහරු මගෙන් ඈත් වුණා. මට අවශ්‍ය විදියට නිදහසේ ඒ සටන ගෙනියන්න තමයි මම පක්ෂයක් බිහි කළේ. එතන දි මගේ මතය ප්‍රකාශ කරලා වැඩ කළ හැකි ක්‍රමවේදයක් ආවා. මම රට පුරාම ගියා. හුඟක් ශ්‍රමය වැය වුණා. නමුත් ඒ අභියෝගය මම භාර ගත්තා.

■  2012 දී විතර මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො පොදු අපේක්ෂකයකුගෙ කතිකාව ගොඩනගද්දි ඔබතුමා එතැනට සහභාගි වෙන්නෙ, මොන අරමුණකින්ද?

මට ඒ සඳහා ආරාධනා කළා. මහින්ද රාජපක්ෂගෙ බලවේගයට විරුද්ධව යම්කිසි මතයක් ගොඩනැගෙද්දි මං එතැනට ගියා.

■  එතන දි පොදු අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහත්මයගෙ නම යෝජනා වෙනවා?

ඒ නමත් යෝජනා වුණා. නමුත් මම ඒක අනුමත කළේ නැහැ. මගෙත් යම්කිසි මතවාදයක් තිබුණා. ඒ මතවාදයේ ඉන්න ඕනෙ නිසා මම ඒකට අකැමැති වුණා. එතුමගෙ විතරක් නෙවෙයි තවත් නම් කිහිපයක්ම ආවා. නොයෙක් හේතු නිසා මම ඒවාට කැමැත්ත දුන්නෙ නැහැ.

■  දයාසිරි ජයසේකර මහත්මයා ජයග්‍රහණය කරපු වයඹ පළාත් සභා මැතිවරණයෙ දි ඔබතුමාගෙ පක්ෂයත් ජයග්‍රහණය කරලා සෑහෙන ප්‍රගතියකට ආවා. ඒ ගැන මොකද හිතෙන්නෙ?

අපි ඡන්ද ගත්තා තිස්පන් දාහක්. මන්ත්‍රීවරු දෙන්නෙක් තේරුණා. නමුත් ඊට වඩා අපට ඡන්ද ලැබෙන ප්‍රවණතාවක් එතැන තිබුණා. අනිවාර්යයෙන් හැටඅට දහසක්වත් ගන්න ප්‍රතිචාර තිබුණෙ. නමුත් දයාසිරි ජයසේකර ආණ්ඩුවට ගියාම අපට එකතු වෙලා හිටිය එජාපයේ පිරිස එතැනට ගියා. ඒ වෙලාවෙ ජනතාව හිතුවෙ අලුත් පක්ෂයකට යනවට වඩා යමක් කමක් කරගන්න මෙතනින් පුළුවන් කියලා. ඇරත් මහ ඇමැති නාමයෝජනාව දුන්නෙත් දයාසිරිට. එතැනින් ඡන්ද 25,000 ක් විතර අපට නැති වුණා.

Fonseka03

■  හරේන් ප්‍රනාන්දු මහත්මයා තරග කළ ඌව පළාත් සභා මැතිවරණයෙ දි ඔබතුමාගෙ පසුබෑමට හේතුව මොකක් කියලද ඔබ හිතන්නෙ?

එතන දි ඡන්ද ගණන් කිරීම පිළිබඳව දිගටම විශාල සැකයක් තිබුණා. ඒක සාධාරණව සිදු වුණේ නැහැ. බැසිල් රාජපක්ෂ එතැනදිත් අපව ඉලක්ක කරලා තිබුණා. ඒ අතින් අපට ඡන්ද යම්කිසි ප්‍රමාණයක් අහිමි කළා. හරේන් ප්‍රනාන්දු ආවට පස්සෙ කලකිරීමෙන් පැත්තකට වෙලා හිටිය එජාපයේ අය එජාපයට ඡන්දය දුන්නා.

■  2015 දි පොදු අපේක්ෂකයා නම් කිරීමේ දී ඔබතුමා කොහොමද එතැනට සම්බන්ධ වුණේ?

ඒ සාකච්ඡාවල දී මම හිටියෙ නැහැ. මුලින් අපිත් එක්ක සාකච්ඡා කරලා තිබුණෙ එජාපයේ නායකයා ඉල්ලනවයි කියලා. ඒ සඳහා අපි එකඟතාවට ඇවිත් හිටියා. ඉන්පසුව මොනම හෝ හේතුවකින් එජාපයේ නායකයා මේ යෝජනාව අයින් කරගෙන තිබුණා. ඉන්පසුව තමයි මෛත්‍රීපාල සිරිසේන මහතාගෙ නම යෝජනා වෙන්නෙ. ඒ යෝජනාවට අපේ සම්බන්ධයක් නැහැ. ඒ දෙගොල්ලො තීරණයකට ඇවිත් අපට දැනුම් දුන්නා. අපේ අදහස් ලිඛිතව ඉදිරිපත් කළා. ඒවාට එකඟ වුණා. ඒ නිසා අපි ඒ අදහසට එකඟ වුණා.

■  ඔබ පොදු අපේක්ෂකයා දිනවීමට විශාල කැප කිරීමක් කළා. මේක ආවෙ ඔබතුමා තුළ තිබුණු රාජපක්ෂ විරෝධය නිසාද?

නැහැ. අපි වැඩකට බැස්සොතින් ඒක උපරිමව කරනවා. යම් දෙයකට එකඟ වුණාම යටින් කකුල් ඇදිලි, බාදක හෙළීම් මගේ ළඟ නැහැ. මගේ පක්ෂයම විශාල කැප කිරීමක් කළා. මම අත්පත්‍රිකා ලක්ෂ විස්සක් බෙදුවා. මැතිවරණ වේදිකාවල ආරක්ෂාව වෙනුවෙන් කටයුතු සැලසුම් කළා.

■  එදා ජනවාරි 08 ජයග්‍රහණය පිළිබඳව ඔබට සතුටුයිද?

ඔව් අනිවාර්යයෙන්ම. ඒ සතුට මේ රටේ හැමෝම භුක්ති විඳිනවනෙ. ඒ සතුටේ ප්‍රතිඵල මේ රටේ හැමෝටම ලැබුණනෙ.

■  ඒ ජයග්‍රහණයෙන් පසුව, ඔබතුමාට එදා එරෙහි වුණු මානවඩුලටවත් රාජපක්ෂලටවත් කතා කරල මොනවත් කිව්වෙ නැද්ද?

මට ඒ වගේ මිනිස්සුත් එක්ක කතා බහ කිරීමත් පිළිකුලක්. මට ඒ ඡන්දය වෙලාවෙ එක එක අය පණිවිඩ අරගෙන ආවා. මිලියන දාහක් දෙන්නම්, පොල් අක්කර සීයක් දෙන්නම්, වාහන දෙන්නම්, නඩු සේරම ඉවත් කරන්නම් ඔය විදිහේ පණිවිඩ ආවා. ඒත් මම ඒවා ප්‍රතික්ෂේප කළා. කවදාවත් ඒ අයත් එක්ක මගේ ගනුදෙනුවක් නැහැ. නමුත් තවම අපේ සටන ඉවර නැහැ. මේ සටනෙ අවසානය දකින්න නම් ඒ මිනිස්සුන්ට කරපු වැරැදිවලට නීත්‍යනුකූලව දඬුවම් කරන්න ඕනෙ.

■  දින සියයේ වැඩපිළිවෙළ පිළිබඳව ඔබතුමාගෙ අදහස මොකක්ද?

දින සියයේ වැඩපිළිවෙළ හොඳයි. නමුත් දින සියයකින් රටක හුඟක් දේවල් කරන්න අමාරුයි. පරිපාලනය සහ දේශපාලනය වෙනස් කරන්න අමාරුයි. නමුත් කඩිනම් සහන දීමටයි එහෙම කළේ.

■  එතන දි සිද්ධ වුණු දහනව වන සංශෝධනය පිළිබඳව මොකද හිතෙන්නෙ?

මිනිසුන්ට පොරොන්දුවක් විදියට දීලා තිබෙුණා දින සියයක් ඇතුළත ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා කියලා. ඒ ව්‍යවස්ථා සංශෝධනයෙන් හැමදාමත් බලයේ ඉන්න කෑදරව හිටපු පුද්ගලයන්ටයි වැදුණෙ.

■  ඉන් පසුව එළඹෙන මහ මැතිවරණයෙ දි එජාපයෙන් ආරාධනා කරද්දිත් ඔබ වෙනම ඉල්ලන්න තීරණය කරන්නෙ ඇයි?

ඒ මැතිවරණයෙ දි නැවතත් මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලැබුණා. ඔහු වටා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ විශාල පිරිසක් එකතු වෙලා ඔහුව අගමැති කර ගැනීමේ යෝජනාව ආවා. එජාපයේ නායකයා සහ කරු ජයසූරිය මහතා එකතුව පැවති සාකච්ඡාවෙ දි මට කුරුණෑගලින් ඡන්දෙ ඉල්ලන්න යෝජනා වුණා. තනිවම ඉල්ලද්දි අවදානමක් තියෙන බවත් මං දැනගෙන හිටියා. නමුත් මට අවශ්‍ය වුණේ එක තැනකට හිර නොවී රට පුරා පණිවිඩය අරගෙන යන්න. ඒ නිසා වෙනම අපේක්ෂකයො දමලා වෙනම මැතිවරණය කළා.

■  එදා ලැබුණු ප්‍රතිඵලය ගැන ඔබට මොකද හිතෙන්නෙ?

ඒ ප්‍රතිඵලයෙ දි අපි පුදුම වෙන්නෙ නැහැ. නමුත් කනගාටු වෙනවා, එක අතකින් ඒ ප්‍රතිඵලයෙ දෙපැත්තක් තියෙනවා. ඒ ප්‍රතිඵලය අනුව අපට අදාළ ආසන ආවා නම් එජාපය ජයග්‍රහණය කළ සමහර ආසන ජයග්‍රහණ මහින්දට යන්න තිබුණා. ගම්පහ,කොළඹ අපේ ඡන්ද අයින් වුණා නම් එජාපයට මේ ඡන්ද ප්‍රමාණය ලැබෙන්නෙ නැහැ. සමහර වෙලාවට බෝනස් සීට් මහින්දට යන්න තිබුණා.

■  ඉන්පසුව ඔබතුමාට එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වෙනවා. ඒක වෙන්නෙ කොහොමද?

මට එජාපයේ සභාපතිතුමා තමයි ආරාධනා කළේ, එකතු වෙලා වැඩ කරමු කියලා. සම්මේලනයකුත් තියලා, ඉන් පසුව තමයි මේ තීරණයට එන්නෙ. ආරාධනාවෙන් පස්සෙ කතා බහ කරලා කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගත්තා.

■  ඉන් පසුව ඔබ පාර්ලිමේන්තුවෙ දි රනිල් වික්‍රමසිංහ මහත්මයගෙ ඉත්තෙක් වගේ හැසිරෙනවයි කියලා චෝදනා කරනවා. මොකක්ද මේ?

අවස්ථා දෙකක දි අගමැතිතුමා මට අදහස් ප්‍රකාශ කරන්නට ඉඩ දෙනවා. (යුද හමුදා ගෙනාව ප්‍රශ්නය සහ රණවිරුවන් සිරගත කිරීම කියන ප්‍රශ්නයෙ දි) ආර්ථික විද්‍යාව ගැන කතා කරද්දි මම කතා කරන්නෙ නැහැ. මට අදාළ ක්ෂේත්‍රය ගැන කතා කරද්දි මම කතා කරන එක හරි.

■  ඔබතුමාට ලැබුණු අමාත්‍යාංශයේ කාර්යභාරය මොකක්ද?

විශේෂම කාර්යභාරය විශේෂ ව්‍යාපෘති කරන එක. අපට පළාත් දීලා තියෙනවා. අපේ අමාත්‍යාංශය යටිතල පහසුකම් දියුණු කිරීම වැනි දේට අදාළ නැහැ. ප්‍රාදේශීය සංවර්ධනය කිව්වට ඒ පැත්ත අනෙකුත් රේඛීය අමාත්‍යාංශ මඟින් කෙරෙනවා.

■  සොරුන්ට දඬුවම් දීම පිළිබඳව අද තත්ත්වය මොකක්ද?

සොරුන්ට දඬුවම් දෙන්න අපි ජනතාවට පොරොන්දු වුණා. ඒ පොරොන්දුව තමයි මිනිස්සු අපට ඡන්දෙ දීමට ප්‍රධාන හේතුව. එතන දි අපි අද වෙනකොටත් අසාර්ථකයි. ඒ කාලයේ අපේ නීති ක්ෂේත්‍රය දූෂිත වුණා. එදා අපි නිවැරැදි කරගත්තෙ නැහැ. යහපාලනයේ තියෙන නිදහස නිසා ඒක නිවැරැදි කිරීමේදීත් ප්‍රශ්න තියෙනවා. ඒ නිදහසත් දූෂිතයො උපරිමව භුක්ති විඳිනවා. ඒක විශාලම ප්‍රශ්නයක්. පොලීසිය,අධිකරණය මෙහෙවන්නත් යහපාලනය යන්නෙ නැහැ. ඒකත් දූෂිතයන්ට රුකුලක්. අධිකරණ ඇමැති ආදීන් හැමදාමත් ඒක කළා. ඉදිරියටත් කරාවි. බාධක ගොඩක් තියෙනවා. අවසානයේ කෙසේ හෝ ඒ වගකීම අපට ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා. ඒ අංශයෙන් ආණ්ඩුව අසාර්ථකයි. ඒක තමයි යථාර්ථය.

■  ඔබතුමාට නීතිය හා සාමය සම්බන්ධ අමාත්‍යාංශයක් දෙන්නට යද්දි සමහරු පක්ෂය දමලා යනවා වගේ කතා කිව්වා. එහෙම දෙන්න හදපු අමාත්‍යාංශවලට මොකද වුණේ?

අමාත්‍යාංශයක් ගැන නෙවෙයි එතැන කතා කළේ ක්‍රමවේදයක් ගැන. මේ සේවාවන් කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා නම් ඒවා නැවැත්වීමේ ක්‍රමවේදයක්. එවැනි ක්‍රමවේදයක් හදද්දි සමහර දේශීය අමාත්‍යාංශ උදව් කරගන්න වෙනවා. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවෙ පොලීසියේ සහයෝගය අවශ්‍ය වෙනවා. එවැනි යාන්ත්‍රණයක් හදන්න ප්‍රමාද විය යුතු නැහැ. ප්‍රමාද වුණොත් අනිසි බලවේගයන්ට මුහුණ දෙන්නට වෙයි.

■  මෑතක දී සිදු වුණු කැබිනට් සංශෝධනය ගැන ඔබට සතුටුයිද?

එක එක අයගෙ මත තියෙනවා. රවී කරුණානායක සහ මංගල සමරවීර හුවමාරුව මම නම් හිතන්නෙ නෑ අවශ්‍යයයි කියලා. ඒවා ගැන තීරණ ගත යුත්තේ අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා. මම නෙවෙයිනෙ.

■ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන ඔබතුමාට විරුද්ධව චෝදනා එල්ල වෙනවා?

ඒවා කරපු අය මං ප්‍රසිද්ධියෙම කිව්වා. ගෝඨාභය රාජපක්ෂ, කපිල හෙන්දවිතාරණ. බුද්ධි අංශයේ අයව අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට නම් නෙවෙයි. ඒවා නීත්‍යනුකූලද නැද්ද කියන එක ගැන මට හමුදා නිලධාරීන්ට ඇඟිල්ල දික් කරන්න බෑ. මේ දෙන්නගෙ බලපෑම් නිසා පොලීසියත් අක්‍රිය වෙලා හිටියා.

■  අද සමාජයේ මතයක් තියෙනවා හමුදා නිලධාරීන් හිරේ දමනවා කියලා. වරදක් කළොත් හමුදාවෙ කියලා නෑ නේද, දඬුවම් ලැබිය යුතුයි නේද?

වරදක් කරලා තියෙනවා නම්, හමුදාවේ හිඳීම වරදකින් නිදහස් වීමට හේතුවක් නෙවෙයි. හමුදාවෙ අයත් රටේ නීතියට යටයි.

■  ඔබට ලැබුණු ෆීල්ඞ් මාර්ෂල් තනතුර ගැන මතයක් තියෙනවා. රටවල් දෙකක් අතර යුද්ධයක් තිබිලා ජයග්‍රහණය කළොත් මිසක, රටක් ඇතුළෙ සිවිල් යුද්ධයක් ජයග්‍රහණය කළාට මේ ෆීල්ඞ් මාර්ෂල් තනතුරක් ලබා දෙන්න බැහැයි කියලා. මොකක්ද මේකෙ ඇත්ත?

හමුදාවක වගකීම රටේ ඒකීයභාවය, ස්වෛරීභාවය රැකීම. අපි කරන්නෙ ඒ රාජකාරිය. ඒක රට ඇතුළින් වගේම පිටිනුත් එන්න පුළුවන්. ඒක සම්පූර්ණ වැරැදි මතයක්. මෙහෙ තිබුණු සටන රටවල් දෙකක් අතර තිබුණු සටනට වඩා භයානකයි.

■  නැවත වතාවක් මේ බෙදුම්වාදය මතුවෙන්න ඉඩක් තියෙනවද?

දැන් තියෙන වාතාවරණය උඩ එහෙම දෙයක් වෙයි කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. නමුත් බෙදුම්වාදී මානසිකත්වයේ ඉන්න දේශපාලකයන් දෙපැත්තේම ඉන්නවා. මහින්ද රාජපක්ෂ ආදීන් තනිකරම බෙදුම්වාදීන්. උතුරෙත් එවැනි බෙදුම්වාදීන් ඉන්නවා. බෙදුම්වාදය ඇති කළෙත් දේශපාලනඥයො. ඒ අය ඒ මතම නැසුණා. ඇති කරපු කෙනත් ඒකෙන්ම විනාශ වුණා.

■  ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබේ අදහස මොකක්ද?

ඒක අපි පිළිඅරගෙන තියෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි කියලා අපි පිළිඅරගෙන තියෙනවා. ජනාධිපතිගෙ බලය අඩු කරන එක සිදුවිය යුතුයි කියන එක මගේ පෞද්ගලික මතය.

■  2020 මේ රටේ නායකයා කවුරු වෙයිද?

ජනතාව තීරණය කරයි. ඔය දකින හීන අනුව ඒවා සිද්ධ වෙන්නෙ නැහැ.

■  ඔබතුමාට නැද්ද මේ රටේ නායකයා වීමේ අදහසක්?

මගේ තිබුණු අරමුණු වෙනස්. නායකයා වීම නෙවෙයි මගේ අවශ්‍යතාව වුණේ. රට හදන්න අවශ්‍යතාව. දේශපාලනය බේරා ගැනීමේ අවශ්‍යතාව තියෙනවා. සුන්දර විනයගරුක හොඳ සංවර්ධනයකින් යුතු රටක් වෙනවා දකින්න කැමැතියි. ඒක කවුරු හරි කරනවා නම් මට ප්‍රශ්නයක් නැහැ.

■  ඒක කරන්න නම් 2020 ගෝඨාභය ගේන්න ඕනෙ කියලා මතයක් තියෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

ගෝඨාභය ගෙනැවිත් ඇවිදින මං තීරු හැදුවට, හමුදාව හොයාගෙන අතන මෙතන වැලි ගෝනි ගැහුවට, ඇළවල් සුද්ධ කළාට රටක් හදනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. එයා රටට ආදරෙන් රට වෙනුවෙන් යමක් කරපු කෙනෙක් නෙවෙයිනෙ. යුද්ධයට එයාව අවශ්‍ය වෙලාවෙ හමුදාවත් අමතක කරලා රටත් අමතක කරලා ගිහින් හිටපු කෙනෙක්. අපේ රටේ මිනිස්සු එච්චරටම මෝඩද? ඒ වගේ කෙනෙක් රටේ නායකයා කරගන්න. එහෙම නම් මේ රටට අනාගතයකුත් නෑ. එහෙනම් අපේ රටේ මිනිස්සුන්ට හැමදාම ඔය දැන් ඉන්නවා වගේම ඉන්නත් පුළුවන්, ඉඳලා හිටලා සුදු වෑන්වල යන්නත් පුළුවන්.

(Sathhanda)

No comments:

Post a Comment