09 May 2017

ප්‍රංශ ජනපතිවරණය: යුරෝපයෙහි අන්ත දක්ෂිනාංශය ලද තෙවන පරාජය



1948 වසරෙහිදී නැපෝලියන් බොනපාට්ගේ බෑනා වූ 39 හැවිරිදි ලුවිස් නැපෝලියන් බොනපාට්ගෙන් පසු ප්‍රංශයේ ලාබාලම ජනාධිපතිවරයා මැයි 07වන දින පැවැති ජනාපතිවරණයෙන් තේරී පත්විය. ඔහු 39 හැවිරිදි එමානුවෙල් මැක්‍රෝන් ය. මැක්‍රෝන් ලද ජය යුරෝපායෙහි හිස එසවිමට තැත් දරන මානව විරෝධී අන්ත දක්ශිනාංශය මෙම වසර තුල ලද තෙවන පරාජය වේ.

ප්‍රථමයෙන් ඔස්ට්‍රියාවද දෙවනුව නෙදර්ලන්තයද දැන් ප්‍රංශය ද ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වැලැඩිමිර් පූටින්ගේ ආශිර්වාද ලද නව පැසිස්ට්වාදී දේශපාලන බලවේග පරාජය කර තිබේ.

ප්‍රංශයෙහි ජනපතිවරණයෙහි තරඟ වැදුණු අනෙක් අපේක්ෂිකාව වූ මරින් ල-පෙන් ප්‍රංශයේ යටත් විජිත ඉතිහාසය අලුතෙන් ලියා හිට්ලර් අනුගමනය කල පැසිස්ට්වාදයේ නව අනුවර්තනයක් පිහිටුවීම සිය දේශපාලනය කර ගෙන තිබුණි.

ඇය යුරෝපා සංගමයෙන් වෙන් වීමටත් සරණාගතයින් පිටුවාහල් කිරීමටත් රුසියාවෙහි පූටින් ගෙන යන අන්දමේ මානව හිමිකම් විරෝධි පාලනයක් ඇති කිරීමටත් අපේක්ෂා කළාය. ඇය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රබල අනුගාමිකාවකි. සිත් බැද ගන්නා ආක්‍රමණශීලී කථිකත්වයක් ඇති ඇය සිය පියා විසින් 1970 ගණන් හිදී ආරම්භ කරන ලද ජාතිකවාදී පෙරමුණ නම් පක්ෂයේ නායකත්වයට පත් වූයේ ල-පෙන් නම් සිය පියා පක්ෂයෙන් පළවා හරිමිනි.

අන්ත දක්ශිනාංශක අපේක්ෂිකා මරින් ල-පෙන් ජන්ද සියයට 35 තරම් ලබා ගනිත්දී මැක්රොන් සියයට 65ක් ලබා ගත්තේය. ජන්ද දායකයින්ගෙන් තුනෙන් එකක් එක්කෝ ජන්දය නොදුන් අතර නැත්නම් සිය ජන්ද පත්‍රිකාව අවලංගු කොට තිබුණි.

ප්‍රංශයෙහි ජනාධිපතිවරණවය දෙකකින් යුතුය. ප්‍රථම වටයෙන් වැඩිම ජන්ද ලබා ගන්නා අපේක්ෂකයින් දෙදෙනා දෙවන වටයට සුදුසුකම් ලබති. මෙම ජනාධිපතිවරණයෙහිදී මේ තාක් කල් ප්‍රංශය පාලනය කළ රිපබ්ලිකන් සහ සමාජවාදී යන පක්ෂ දෙකම දෙවන වටයට සුදුසුකම් ලැබූයේ නැත.

ජයගත් එමානුවෙල් මැක්‍රෝන් දෙවසරක් සමාජවාදී පක්ෂයේ ජනාධිපති වූ හොලන්දේගේ ආණ්ඩුවේ මුදල් ඇමැතිව සිටියේ ය. 2016 අගොස්තු මාසයේදී ආණ්ඩුවෙන් ඉවත් වූ ඔහු ‘ ඉදිරියට යමු’ නම් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළේය. දැන් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජය ලබා ඇත්තේ එක් වියැති එම ව්‍යාපාරයයි.

එසේ නමුත් ඔහුගේ ජය හුදෙක් එම ව්‍යාපාරයේ ජයක් නොවේ. ඔහුට ජන්දය දුන් සියයට 60ක් ම එසේ කළේ නව පැසිස්ට්වාදී මරින් ල-පෙන් පරාජය කරනු පිනිසය.

ප්‍රංශයෙහි නව පාර්ලිමේන්තුවක් පිහිටුවා ගැනීමේ මහා මැතිවරණය මෙම වසරේ ජූනි මාසයේ දී පැවැත්වෙයි. එහි දී මරීන් ල-පෙන් එතරම් ආසන ගණනාවක් ලබා ගනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.

මැක්‍රෝන් හදුන්වනු ලබන්නේ මධ්‍යස්ත වාමාංශික දේශපාලනඥයකු ලෙසය. ඔහු යුරෝපා සංගමය ශක්තිමක් කිරීමටත් වෙළද පොළ ආර්ථිකය ශක්තිමත් කැරෙන ප්‍රතිසංස්කරණ වෙනුවෙනුත් පෙනී සිටී.

ඔහුගේ ප්‍රථම දේශපාලන කටයුත්ත වනු ඇත්තේ ප්‍රංශය වෙනුවෙන් දිවිපිදූ නොදන්නා සොල්ලාදුවාගේ සොහොනට ගරුබුහුමන් දැක්වීම වන අතර දෙවන කාරිය වනු ඇත්තේ නිදහස් ලෝකයේ නව නායිකාව ලෙ හැදින්වෙන ජර්මානු වාන්ස්ලර් අන්ජේලා මර්කල් හමුවීමයි.

ඔහු ඉදිරියෙහි ඇති ප්‍රධාන අභියෝග වනු ඇත්තේ නගරය සහ ගම අතර ඇති ආර්ථික පරතරය අඩු කිරීම, විරුකියාව අඩු කිරීම, ප්‍රංශයට එල්ල වන ත්‍රස්තවාදී තර්ජනයන් පරාජය කිරීම සහ දේශපාලන වශයෙන් බෙදී ගොස් ඇති ප්‍රංශය එක් කිරීම බව දේශපාලන විචාරකයෝ පවසති.

ප්‍රංශයේ අගනුවර වන පැරීසියෙහි මරීන් ලා පෙන් ලබා ගත්තේ සියයට 05ක තරම් අඩු ජන්ද ප්‍රතිශතයකි. එසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන් ඇයද ගම්බද ජන්ද කෙරෙහි වැඩි බලපෑමක් කිරීමට සමත් විය.

ජර්මනියෙහි අන්ත දක්ෂිනාංශය ඉතා දුර්වලය. යුරෝපා සංගමයෙහි අනෙක් ප්‍රධාන රටවල් ලෙස සැළකෙන ස්පාඥයේ හෝ ඉතාලියෙහි හෝ ප්‍රබල නව නාසිවාදී ව්‍යාපාරයන් නැත.

එබැවින් මරීන් ල-පෙන්ගේ පරාජය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් ප්‍රවණතාවයේ අවසානය ලෙස සැළකීමේ වරදක් නැත.

| සුනන්ද දේශප්‍රිය

No comments:

Post a Comment