27 June 2017

අමාත්‍යංශ ගෙවල්කුලී වසරකට කෝටි 180ක්..!

අමාත්‍යාංශ 46න් 24ක් හා තවත් අමාත්‍යංශ 16ක කොටස් කුලී ගොඩනැගිලිවල පවත්වා ගෙනයාම නිසා වර්ෂයකට රුපියල් කෝටි 180ක මුදලක් කුලී ගෙවීම සඳහා වැය කිරීමට රජයට සිදු වී ඇත. අමාත්‍යංශ පවත්වා ගෙන යාමට කුලී පදනම මත ලබා ගෙන ඇති ගොඩනැගිලි සඳහා මාසයකට ගෙවන කුලී මුදල රුපියල් කෝටි 15ක් පමණ වී ඇත. මෙම ගොඩනැගිලි සඳහා ගෙවා ඇති අත්තිකාරම් මුදල කෝටි 100කට අධිකය.

මීට අමතරව රාජ්‍ය ආයතන ගණනාවක්ම කුලී ගොඩනැගිලිවල පවත්වා ගෙන යයි. මෙයට හොඳම උදාහරණය සිවිල් ගුවන් සේවා අධිකාරියයි. වසර 15ක කාලයක් තිස්සේ මෙම ආයතනය කුලී ගොඩනැගිල්ලක පවත්වා ගෙන යාමයි. එහි කුලිය වශයෙන් රුපියල් කෝටි 1306ක පමණ මුදලක් ගෙවා ඇති බව විශ්වාස කරයි. මෙම ගොඩනැගිල්ල සඳහා මාසික කුලිය රුපියල් ලක්‍ෂ 60කි.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ආයතනය ලබන ලාභයෙන් කෝටි 70ක් බැගින් මුදලක් විටින් විට මහාභාණ්ඩාගාරයට ලබාදීමයි. මෙම කෝටි 70ක මුදල වැයකර ගුවන් සේවා අධිකාරියට තට්ටු හත අටක ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමට අවස්ථාව ඇත. එකම ගොඩනැගිල්ලක් ඉදිකර ගත්තා නම් මසකට ලක්‍ෂ 60ක මුදලක් ආයතනයට ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත.

මීට අමතරව අමාත්‍යංශ සඳහා ද කුලී පදනම මත ගොඩනැගිලි ලබාගෙන ඇත. එම ගොඩනැගිලි සඳහා ගෙවනු ලබන කුලිය මෙසේය.

තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 4.23කි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 1.586කි. නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සඳහා මිලියන 2.401කි. විශේෂ කා්යභාර අමාත්‍යංශය සඳහා මිලියන 1.1114කි. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සඳහා මිලියන 2.847කි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහා මිලියන 1.700ක් ගෙවනු ලැබයි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහා මිලියන 1.719ක්ද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහා මිලියන 4.896ක්ද, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 2.909ක්ද, විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 3.347ක්ද, විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ තවත් කොටසක් සඳහා මිලියන 3.278ක්ද, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංයෙ සඳහා රුපියල් ලක්‍ෂ 4ක්ද, විදේශ රැකියා අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 2.060ක්, විදේශ රැකියා අමාත්‍යංශයේ තවත් කොටසක් සඳහා මිලියන 1.278ක්ද, කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා මිලියන 24.570ක්ද, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 2.062ක්ද ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ තවත් කොටසක් සඳහා රුපියල් ලක්‍ෂ 6.22ක්ද ගෙවනු ලබයි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 1.081ක්, එම අමාත්‍යංශයේ තවත් කොටසක් සඳහා රුපියල් 70,000ක්, අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 3.940ක්, එම අමාත්‍යංශයේ තව කොටසක් සඳහා මිලියන 1.233ක්, එම අමාතංශයේ තවත් කොටසක් සඳහා රුපියල් ලක්‍ෂ 8ක් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 3.432ක් ගෙවනු ලබයි.

වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහා මිලියන 1.669ක්, ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යංශය සඳහා මිලියන 1.610ක්, සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යංශය සඳහා මිලියන 11.958ක්, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය සඳහා මිලියන 1.924ක්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සඳහා මිලියන 1.405ක්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සඳහා මිලියන 4.544ක් ගෙවනු ලබති.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය සඳහා මිලියන 1.25ක්, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය සඳහා මිලියන 11.331ක්, විදේශ කටයුතු අමාත්‍යංශය සඳහා ගෙන ඇති ගොඩනැගිලි දෙක සඳහා මිලියන 3.954ක්, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය සඳහා මිලියන 1.930ක්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහා මිලියන 9.900ක්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය සඳහා මිලියන 1.412ක්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ කොටසක් සඳහා රුපියල් 8,95000ක්, පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ කොටසක් සඳහා රුපියල් 9,25000ක් ගෙවනු ලබති.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සඳහා මිලියන 7.075ක්, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහා රුපියල් 5,91,048ක් මාසිකව ගෙවනු ලබති.

මෙයින් වැඩිම කුලිය ගෙවනු ලබන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙනි. එහි කුලිය මාසයකට රුපියල් ලක්‍ෂ 245කි.
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක  රජයේ ගොඩනැගිලිවල අමාත්‍යංශ 25ක් හා රාජ්‍ය අමාත්‍යංශ 11ක් පවත්වා ගෙන යන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කීය.
එම අමාත්‍යංශ සඳහන් කරමින් ඇමැතිවරයා මෙසේ ද කීය.

“මහාමාර්ග හා උසස් අධ්‍යාපන, වාරිමාර්ග හා ජල සම්පත්, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු, ඉඩම්, පරිසර හා මහවැලි, ධීවර හා ජලජ සම්පත්, කර්මාන්ත හා වාණිජ, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා, ආරක්‍ෂක, අධිකරණ, ආපදා කළමනාකරණ, අධ්‍යාපන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන, මුදල්, බුද්ධ ශාසන, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය, පළාත් සභා හා පළාත් පාලන, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, ස්වදේශ කටයුතු, ක්‍රීඩා, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු, විදේශ කටයුතු, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් යන අමාත්‍යංශ රජයේ ගොනැගිලිවල පවත්වනවා. මේවායින් කුලියට ලබාගත් කොටස්වල අමාත්‍යංශ පවත්වා ගෙන යනවා. මහාමාර්ග, ඉඩම්, මුදල්, අධ්‍යාපන, ධීවර හා ජලජ සම්පත්, ආරක්‍ෂක, උසස් අධ්‍යාපන, කර්මාන්ත හා වාණිජ, වාරිමාර්ග හා ජලසම්පත්, නගර සැලසුම් හා ජල සම්පාදන, වෘත්තීය පුහුණු යන රාජ්‍ය අමාත්‍යංශ රජයේ ගොඩනැගිලිවල පවත්වාගෙන යනවා.

මෑතක පිහිටුවන ලද අමාත්‍යංශ තුනක් සඳහා ද කුලී ගොඩනැගිලි ලබාගැනීමට සිදුවී තිබේ. මේ පිළිබඳව මහ නගර සභා, බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ සියලු රාජ්‍ය ආයතන ඉදිරියේදී බත්තරමුල්ලට ගෙන ඒමට සැළසුම් කර ඇති බවයි.  ඒ සඳහා දැනටමත් සෙත්සිරි පාය – 1, සෙත්සිරිපාය – 2, සුහුරුපාය යන ගොඩනැගිලිවල රාජ්‍ය ආයතන පවත්වාගෙන යන අතර මෙම වැඩපිළිවෙළ තවදුරටත් සංවර්ධනය කර කුලී ගොඩනැගිලවලට යන අතිවිශාල වියදම අවම කර ගැනීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා කීය. රජයේ ගොඩනැගිලිවලින් ද කුලියක් අයකරන අවස්ථා ඇතත්, එය මේ තරම් විශාල මුදලක් නොවනු ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ape rata

No comments:

Post a Comment