27 June 2017

ජාතික චිත්‍රපට සංස්ථාවට නව නිලධාරී මණ්ඩලයක්

ජාතික චිත්‍රපට සංස්ථාව සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීම පිළිබඳ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ. ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධානය යොමුකොට ඇති අතර මේ සතිය ඇතුළත සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට නියමිතය.

පසුගියදා සිදුවුණු අමාත්‍ය මණ්ඩල වෙනස් වීමත් සමඟම ඒ ඒ අමාත්‍යාංශවලට පැවරුණු විෂයයන්ද වෙනස්වී ඇති අතර රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයටද අලුතින් ආයතන තුනක් සිය විෂයය පථයට එක්ව තිබේ. ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව හා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව අදාල අමාත්‍යාංශය යටතේ පාලනය වේ.

මෙරට සිනමාවේ අභිවෘද්ධිය ඉලක්ක කොට ගෙන ජාතික චිත්‍රපට සංස්ථාවට නව නිලධාරී මණ්ඩලය පත් කරන අතර දේශීය සිනමා කර්මාන්තය නඟා සිටුවීම උදෙසා අවශ්‍ය සාධනීය වෙනස්කම් සිදුකිරීමට අපේක්ෂා කරන බවද රංජිත් මද්දුමබණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය. මෙම කර්තව්‍යයේදී කර්මාන්තයේ නියැළි ප්‍රවීණයන්ගේ අදහස් මෙන්ම යෝජනා නිරන්තරයෙන් තමන් අපේක්ෂා කරන අතර ඒ මත පදනම්ව සිනමාවේ ප්‍රගමනයට අවශ්‍ය සියලු යෝජනා සකසන බවද ඇමැතිවරයා සඳහන් කළේය. මෙම කටයුත්තේදී සංස්ථාවේ සිදුවිය යුතු වෙනස්කම් වේ නම් ඒ සියල්ල ඉදිරියේදී තමාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට තමන් අපේක්ෂා කරන බවද ඇමැතිවරයා පැවසූ අතර අභිනවයෙන් පත්කිරීමට අපේක්ෂා කරන නිලධාරී මණ්ඩලයෙන් තමන් අපේක්ෂා කරන්නේ තම රජය හා තමන් සිනමාවේ උන්නතිය වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වන කටයුත්ත පහසුකිරීම සඳහා වූ සහය බවද පැවසීය.

මෙතෙක් කලක් රාජ්‍ය සේවයේ උන්නතිය වෙනුවෙන් තම කාලය වෙන්කළ තමන්ට මෙම ආයතන තුනද ලබා දෙමින් කළ අගය කිරීමට තම ස්තූතිය ජනාධිපතිතුමන්ටත් අගමැතිතුමන්ටත් හිමි විය යුතු බවද හෙතෙම පැවසීය. තමන් කෙරේ ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් තැබූ විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිද්දෙන් තමන් මෙම කටයුත්ත සිදු කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ඇමැතිවරයා මෙම කටයුත්තේදී ජනමාධ්‍යයෙන්ද උපරිම සහායක් තමන් බලාපොරොත්තු වන බව සඳහන් කළේය. තම ඇමැති ධුරය යටතේ දේශීය සිනමාව නඟාසිටුවීම වෙනුවෙන් දැනෙන යමක් කිරීම තම අරමුණ බව කී ඇමැතිවරයා මෙපරිද්දෙන්ම අනෙක් ආයතන දෙක වන රජයේ මුද්‍රණාලයේ හා මුද්‍රණ නීතිගත සංස්ථාවේද කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරි දිනවල ගන්නා බවද කීය.

No comments:

Post a Comment