27 March 2017

අද ඩොලරයට රුපියල් 155 ක් පමණ ගෙවන්න සිදුවෙලා



අද වනවිට ඩොලරයට අපිට රුපියල් 155 ක් පමණ ගෙවන්න සිදුවී තිබෙන අතර 2015 දී  අපිට ඩොලරයට රුපියල් 130 ක් ගෙවන්න සිදු වූ  බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස් බුක් පිටුවට වීඩියෝ පටයක් එක් කරමින් (26) ප‍්‍රකාශ කර සිටියේ ය.

එම අනාවරණයේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පහත අදහස් දැක්වීය,

රුපියල අවප‍්‍රමාණය වීම ආනයන අපනයන පැත්තෙන් ගත්තාහම මත දෙකක් තියෙනවා, එක පැත්තකින් කියනවා මේක අහිතකරයි කියා. අනෙක් අය කියනවා නෑ මේක රටට හිතකරයි කියා. තවත් දෙයක් තමයි ලංකාවේ ණය බර, ඒ ණය බර රුපියල්වලින් වැඩිවීම මේ අනුව සිද්ද වෙනවා.  ඒ අනුව වැඩියෙන් අපට ගෙවන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් රුපියල සමබර තත්ත්වයක පැවතීම තමයි ආර්ථිකයට වඩාත් සුදුසු තත්ත්වය වන්නේ. ඇයි රුපියල අවප‍්‍රමාණය වෙන්නේ. පළමුවෙන්ම අපේ අපනයන පසුගිය කාලය තුළ වර්ධනය වෙලා නැහැ. බොහෝ කාලයක් අපේ අපනයන ඩොලර් බිලියන  10 සීමාවේ රැඳී තිබෙනවා. අපි ගත්තොත් 1990 දශකයේ මුල්භාගයේ අපේ අපනයන තිබුනේ ඩොලර් බිලියන 5 පමණ කිට්ටුව. ඒ වගේම අපට සමාන අපනයන ප‍්‍රමාණයක් තමයි වියට්නාමය කර කර හිටියේ. නමුත් අද වියට්නාමය අපනයන ප‍්‍රමාණය ඩොලර් බිලියන 175 ට ආසන්න ප‍්‍රමාණයකට වැඩිවෙලා තියෙනවා. 

මේ වාතාවරණය හමුවේ අපේ අපනයන වැඩිකර ගැනීමේ හා විදේශ සංචිත වැඩිකර ගැනීම සඳහා විදේශ ආයෝජන ඒ වගේම විදේශ විනිමය ලබාගැනීම පිළිබඳව අපට විධිමත් වැඩපිළිවෙලක් නොතිබ්බොත් රුපියල තවත් අවප‍්‍රමාණය වෙන්න නියමිතයි.

ඒ වගේම මේ මෑතදී මතුවෙච්ච අලූත් තත්ත්වයක් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ පොලී අනුපාතය ඉහළ යැවීම නිසා එහි මහා භාණ්ඩාගාරය, අපේ රුපියලට ඇතිවෙච්ච බලපෑම. උදාහරණයක් හැටියට 2008 ලෝකයේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය එක්ක, විශේෂයෙන්ම යුරෝපයේ සහ ඇමරිකාවේ. ඒ රජයන්වලට සිද්ධ වුනා පොලී විරහිතව විශාල ධනය ප‍්‍රමාණයක් ව්‍යාපාරිකයන්ට ලබාදෙන්න. ව්‍යාපාරිකයන් කළේ ඒ ධනය ලබාගෙන ලංකාව, ඉන්දියාව වැනි රටවල්වල වැඩි පොලියට ආයෝජනය කරලා ලාභ ඉපැයූව්වා. ලංකාවේ ඩොලර් බිලියන 03 ක් පමණ 14.5% ක පොලියට ආයෝජනය කරපු ටෙම්පල්ටන් අරමුදල එවැනි අරමුදලක්. ඔවුන් පොලී අනුපාතය 0 ට ඇමරිකා එක්සත් ජනපදයෙන් සල්ලි අරගෙන ලංකාවේ 14.5% ට ආයෝජනය කළා. නමුත් දැන් ඇමරිකාව ක‍්‍රම ක‍්‍රමයෙන් තමන්ගේ පොලී අනුපාත වැඩිකරගනිමින් සිටිනවා.

එතකොට වෙන්නේ මොකක්ද මේ ලංකාව වගේ තැන්වල ආයෝජනය කරගෙන හිටපු ටෙම්පල්ටන් වැනි අය ඒ සල්ලි අරගෙන යනවා ඇමරිකා එක්සත් ජනපදයට යළිත්, මේක අපට විතරක් නෙමෙයි ඉන්දියාව ඇතුළු අනෙක් රටවල්වලටත් බලපාලා තිබෙනවා.

කොටින්ම කිව්වොත් ගෝලීය වශයෙන් ප‍්‍රාග්ධන තැන්පත්වලට තිබුණ මධුසමය, මේ ග්ලෝබල් හනිමූන් එක දැන් ඉවර වෙලා තිබෙනවා. ඒක නිසා අහසින් පොලවට වැටෙන්න දැන් හැම රටකටම සිද්ධ වෙලා තිබෙනවා. ඒක නිසා තමයි අපෙත් සංචිත අඩුවෙලා රුපියලට දැඩි බලපෑමක් එල්ල වෙලා තිබෙන්නේ.

ඒ විතරක් නෙමෙයි  අපි මේ දිනවල ඩොලර් බිලියන 1.5 ක පමණ ධනයක් බලාපොරොත්තු වෙනවා විදේශ රටවලින් මිලදී ගන්න. නමුත් ඒ ණය බැඳුම්කර මිලදී ගන්න ගියහමත් පොලී අනුපාත ඉහළ පොලී අනුපාතයක් වෙන එක වළක්වන්න බැහැ. මේ ඇමරිකා එක්සත් ජනපදයේ පොලී අනුපාතය ඉහළ යෑම නිසා.  මේ නිසා අපට තදබල ආර්ථික පීඩනයක් එල්ල වෙන්න නියමිතයි. අන්න ඒ නිසා අපි ඒ ගැන විධිමත් තිරසර ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකළහොත් අපිට කෙටි කාලීන උත්තර තියෙන්න පුළුවන්. රාජ්‍ය දේපල විකුණා දැමීමෙන් හෝ රාජ්‍ය දේපළ අන්සතු කිරීමෙන් හෝ අපට තාවකාලිකව මේ විදේශ විනිමය ප‍්‍රශ්නය විසඳා ගැනීමට හැකියාවක් ලැබෙන්න පුළුවන්. නමුත් නැවත  නැවතත් මේ අර්බුදයට ලංකාව ගමන් කරනවා. අපට තිරසර විසඳුමක් නොතිබ්බොත්. එනිසා අනිවාර්යයෙන්ම අපේ අපනයන  ක්‍ෂෙත‍්‍රයේ අපි විශේෂයෙන්ම මේ තේ, පොල්, රබර් ඇගලූම්මත පදනම් වෙන්නේ නැතිව ඉලෙක්ට්‍රොනික හා අන්තර්ජාලය සම්බන්ධවෙච්ච දැනුම පදනම් කර ගත්  නවෝත්පාදන කි‍්‍රයාදාමයට මුල්තැන දුන් අපනයන කි‍්‍රයාවලියකට වහාම යුහුව නැඹුරු විය යුතුයි.

මෙවන් වූ පියවර ගැනීමෙන් අපට හැකිවෙනවා දිගු කාලීනව මේ අර්බුදයට විසඳුම් ලැබීමට. ඒකේ ප‍්‍රධානම කාරණය වෙන්නේ බලශක්ති ස්වාධිනත්වය ළගාකර ගැනීම. මා බලශක්ති ඇමතිවරයාව සිටියදී, 2015 මේ සම්බන්ධයෙන් සැලසුමක් ඇති කළා අපේ රට අවට තියෙන තෙල් සහ ගෑස් සම්පත උකහා ගැනීමෙන් හා බලශක්ති සංරක්‍ෂණයෙන් අපි බලශක්තියෙන් ස්වයං පෝෂිත උනොත් අපට පිටරටින් බලශක්ති ගෙන්වීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මඟින් අපේ ආනයන බිලට එල්ල වෙලා තිබෙන ලොකුම බලපෑම තෙල්වලින් ගැලවීමේ හැකියාව අපට ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ විධිමත් තිරසර වැඩසටහනක් තුළින් පමණයි, කෙටිකාලීන දේවල් වලින් කෙටිකාලීන විසඳුම් ලැබෙනවා මිසක්, විධිමත් වැඩපිළිවෙලකින් පමණයි රුපියල අපට සමබර තත්ත්වයක පවත්වාගෙන ආර්ථික වශයෙන් බලගතු තත්වයක් උදාකර ගත හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

No comments:

Post a Comment