27 March 2017

රාජපක්ෂලා සිතූ සිතූ ලෙස ජනතා දේපළ විනාශ කළේ මෙහෙමයි



විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බෙලිඅත්ත කාර්මික විද්‍යාල භූමියේ හා වීරකැටිය පිහිණුම් තටාක සුගතදාස අධිකාරියට පැවරීමේදී අවශ්‍ය නීත්‍යනුකූල කටයුතු සිදු කර නැති බවත් එවකට හිටපු ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත එම පිහිණුම් තටාක දෙක එවකටද පාඩුලබමින් තිබූ  සුගතදාස අධිකාරියට භාරගැනීමට සිදුව ඇති බවත් තරුණ කටයුතු ක්‍රීඩා කලා සහ උරුමයන් පිළිබඳ අධීක්ෂණ කමිටුවේදී අනාවරණය වී තිබේ.

2008 අගොස්තු මස 07 දාතමින් යුතුව ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂ යටතේ එවකට ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් “බෙලිඅත්ත හා වීරකැටිය පිහිණුම් තටාක සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය වෙත පවරා ගැනීම හා ඒවායේ නඩත්තුව පිළිබඳ පුහුණුව ලබාදීම” නැමති PR/PS/N80 අංක දරන ලිපිය මගින් අදාළ පිහිණුම් තටාක සුගතදාස අධිකාරියට පවරා ගැනීමටත් ඒ සඳහා සේවකයන් බඳවා ගැනීමටත් සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ සභාපති වරයාට බලපෑම් කර ඇති අයුරුද මනාව පැහැදිළි වේ.

පිහිණුම් තටාක නඩත්තු කිරීම සඳහා සේවකයන් බඳවා ගැනීමට අදාළව නාමලේඛණයක්ද උක්ත ලිපිය සමග කිරීමටද ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වගබලාගෙන තිබේ.

එම පිහිනුම් තටාක සුගතදාස අධිකාරියට පවරාගෙන අදාල සේවකයන්ට අවශ්‍ය පුහුණුව ලබා දී එම පිහිණුම් තටාක නඩත්තු කිරීමේ කටයුතු ඔවුන් වෙත පවරා දීමට කටයුතු කරන්නැයිද ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් අදාළ ලිපිය මගින් සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ සභාපති වරයාට නියෝග කර ඇත.

එම නියෝග අනුව උක්ත පිහිණුම් තටාක දෙක පැවරීමේදීද කිසිදු වගකීමකින් තොරව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අදාළ පැවරීම් කටයුතුද සිදු කර ඇති අකාරයද තරුණ කටයුතු ක්‍රීඩා කලා සහ උරුමයන් පිළිබඳ අධීක්ෂණ කමිටුවේදී අනාවරණය වී තිබේ.

එහෙත් එම තටාක දෙකට අදාළ නඩත්තු කටයුතු සහ විදුලි, ජල බිල්පත් ගෙවීම 2008 ඔක්තෝබර් 17 වනදා සිට සිදුකරගෙන ගොස් ඇත. එමෙන්ම මෙම පිහිණුම් තටාක පිහිටුවා ඇති භූමිය සහ එම දේපළවල නීත්‍යනුකූල අයිතියක් නොමැතිව ඒ සඳහා කුමන ආකාරයේ හෝ වියදම් දැරීමද විගණන ප්‍රතිපත්තිවලට පටහැනි කරුණක්ද වන්නේ ය.

කෙසේ නමුත් මේ සියල්ල උල්ලංඝනය කරමින් කටයතු කිරීමට එවකට ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් ලිපි නිකුත් කරමින් බලපෑම් කර තිබේ. මේ අනාවරණය වූයේ රාජපක්ෂවරු තම පාලන සමයේ තම සිතැඟි අනුව නීතී රීති උල්ලංඝණය කරමින් ජනතා දේපළ සමග සෙල්ලම් කළ ආකාරයට තවත් එක් උදාහරණයක් පමණි. එකළ ජනාධිපති පෞද්ගලික ලේකම්වරුන්ගේ ලිපිවලට නීති රීති උල්ලංඝණය කරමින් නිලධාරීන්ට කටයුතු කිරීමට සිදු ව තිබූ ආකාරයද මේ අනුව මනාව පැහැදිළි වේ.



No comments:

Post a Comment