27 March 2017

මාර්තු 29දා ඉදිරි මැතිවරණ ගැන තීන්දු රැසක්



මැතිවරණ කොමිෂන් සභාව කැඳවන නිත්‍ය නියෝජිත රැස්වීම මාර්තු මස 29 වැනි දින රැස්වීමට නියමිත අතර එදිනඉදිරි මැතිවරණ පිළිබඳ තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව වාර්තාවේ.පසුගිය කාලයේ පැවති මැතිවරණවලදී බොහෝ තීන්දු තීරණ මෙම නිත්‍ය නියෝජිත රැස්වීමේදී ගෙන තිබේ.

ඒ අනුව ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණය කල්යාම පිළිබඳව හා ඒ වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙම නිත්‍ය නියෝජිත කමිටුවේදී තීරණයක් ගැනීමට නියමිතය.

මීට අමතරව සැප්තැම්බර් මාසයේදී නිලකාලය අවසන් වන නැගෙනහිර, උතුරුමැද, සබරගමු පළාත් සභා 03හි මැතිවරණය පැවැත්වීම පිළිබඳවත් විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමටත් නියමිතය.

මෙම නිත්‍ය නියෝජිත කමිටුවට මැතිවරණ කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හා තෝරාගත් මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් ඇතුළත් වේ.

මේ අනුව පළාත් පාලන ආයතන මැතිවරණ සීමා නිර්ණ කටයුතු හෝ ඊට අදාළ තාක්ෂණ කරුණු නිසා තවදුරටත් කල්යාම සිදුවනවානම් පැරණි ක්‍රමය යටතේ මැතිවරණය පවත්වන ලෙසට පක්ෂ කිහිපයක ලේකම්වරු ඉල්ලා සිටීමටත් සැලසුම් කර තිබේ.

මෙහිදී යෝජනා කර ඇති 25% කාන්තා නියෝජනය ඇතුළත්වන ආකාරයට පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවටත් යෝජනා කිරීමට පක්ෂ ලේකම්වරුන් කිහිපදෙනෙකු තීරණය කර තිබෙන බවද වාර්තාවේ.

මෙම නිත්‍ය නියෝජිත කමිටුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ මස 29 වන දින එම කොමිෂන් සභාව තුළදී රැස්වීමට නියමිතය.

No comments:

Post a Comment