23 March 2017

හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍යයි : සෙයිද් අල් හුසේන්



ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත හයිබි‍්‍රඞ් අධිකරණයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය අමතමින්.

ශ‍්‍රී ලංකා වේලාවෙන් එය ආරම්භ වූයේ ඊයේ (22) රාත‍්‍රීයේයි. එහිදී මහකොමසාරිස්වරයා විසින් ශ‍්‍රී ලංකාවේ සංහිඳියා තත්ත්වයේ වගකීම හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ වාර්තාව ද ඉදිරිපත් කළා.

ශ‍්‍රී ලංකාව ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය පිළිබඳව යහපත් ප‍්‍රගතියක් ලබා ගෙන ඇති බවයි එහිදී ඔහු සඳහන් කළේ. එමෙන්ම තමන් ශ‍්‍රී ලංකා රජයටත් එහි ජනතාවටත් වගකීම සහ සත්‍ය සෙවීම සඳහා පූර්ණ සහය දැක්වීමට නිරන්තරයෙන් සූදානම් බවද මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළා.

2015 වසරේ දී එකඟ වූ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා සැලසුමක් සකස් කරන ලෙසට ද මානව හිමිකම් මහකොමසාරිස්වරයා සිය වාර්තාව මගින් ශ‍්‍රී ලංකා රජයෙන් මෙහි දී ඉල්ලීමක් ද සිදු කළා.

ඊට ප‍්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතමින් පැවසුවේ සංහිඳියා ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් වන කැපවීම යළිත් සහතික කරන බවට ලක් රජය පොරොන්දු වන බවයි.

2015 වසරේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේ කාලය වසර 02 කින් දීර්ඝ කිරීමේ අමෙරිකානු යෝජනාවට ද ශ‍්‍රී ලංකාව සම අනුග‍්‍රහය දක්වන බව ද නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ඉල්ලා රටින් පිටත ඊලාම් ආණ්ඩුව නැමති සංවිධානය මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව ප‍්‍රතික්ෂේප වී තිබෙනවා. රටවල් රැසක ද්‍රවිඩ ජාතිකයින් සහ විදේශිකයින් මිලියන 1.6 ක පිරිසක් මෙම ඉල්ලීම සිදු කළ බවටයි එම යෝජනාවේ දැක්වූණේ.

No comments:

Post a Comment