23 March 2017

සෞදියෙන් ඉවත් වෙන්න ගැටලු ඇති ශ්‍රී ලාංකියින්ට අවස්ථාවක් -ඥාතීන් සිටීනම් දැනුවත් කරන්න



සෞදියේ නීති විරෝධීව රැඳී සිටින විදේශීය ශ‍්‍රමිකයින් වෙනුවෙන් පොදු සමා කාලයක් ලබා දීමට සෞදි රජය තීරණය කර තිබෙනවා.

සෞදියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය මේ බව පෙන්වා දෙනවා.

ඒ අනුව මෙම පොදු සමා කාලය 2017 මාර්තු මස 29 වන දිනෙන් ආරම්භ වී මාස තුනක කාලයක් (දින 90 ක් දක්වා) ලබා දීමට තීරණය කර තිබෙනවා.

මෙම පොදු සමාකාලය ලබා දී ඇත්තේ සෞදි අරාබි රාජ්‍යය තුළ නේවාසික වීසා (Iqama) නොමැතිව හා දේශ සීමා නීති උල්ලංඝනය කරමින් පැමිණ එරටේ නීති විරෝධීව රැඳී සිටින්නන්ට හා නීති විරෝධීව රැඳී සිටිමින් එරට සේවය කරන පුද්ගලයින් සඳහායි.

ඒ අනුව මෙම පොදු සමාකාලය ප‍්‍රයෝජනයට ගනිමින් සෞදියේ ආගමන විගමන නීති කම්කරු නීති සහ දේශ සීමා නීති අනුව එරටින් පිටවන විදෙස් පුරවැසියන් හට නීත්‍යාණුකූලව නැවත පැමිනීමට බාධාවක් නොමැති බව ද සෞදි රජය දන්වා සිටිනවා.

සෞදි නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය මොහොමඞ් බින් අබ්දුල් අසිස් විසින් මෙලෙස පොදු සමා කාලයක් ලබා දීමට තීරණය කර ඇති අතර එය සෞදියේ සලමාන් බින් අබ්දුල්අසිස් රජු විසින් අනුමත කර තිබෙනවා.

එසේම මෙම පොදු සමාකාලයෙන් පසුව තවදුරටත් එරට නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් කි‍්‍රයාත්මක කරන බවත් සෞදි රජය දන්වා සිටිනවා.

ඒ අනුව සෞදි අරාබියේ නීති විරෝධීව රැඳී සිටින සියලූම ශ‍්‍රී ලාංකිකයින් වෙත මෙම පොදු සමා කාලය ඇතුලත හැකි ඉක්මණින් රියාද් හි පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය වෙත හෝ ජෙඩා හි පිහිටි ශී‍්‍ර ලංකා කොන්සල් ජනරල් කාර්යාලය වෙත පැමිණ අදාළ ලියකියවිලි සකස් කර ගනිමින් මව් රටට පැමිණෙන ලෙස කාර්යාංශය දන්වා සිටිනවා.

තම ඥාතීන් මෙවැනි නීත්‍යාණුකූල නොවන අයුරින් සෞදිය තුළ රැඳී සිටින්නේ නම් ඔවුන්ව මේ පිළිබඳව දැනුවත් කරන ලෙසත් කාර්යාංශය දන්වා සිටිනවා.

No comments:

Post a Comment