22 March 2017

ප්‍රමුඛතා මංතීරු නීතිය ලබන වසරේ සිට



බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරුවක් හඳුන්වාදීමට අදාළව ක්‍රියාත්මක කළ  නියමු ව්‍යාපෘතිය සාර්ථක බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව  ප්‍රමුඛතා මංතීරු ක්‍රමය විධිමත්ව ඉදිරි වසර ඇතුළත ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යාංශයේදී අද (22දා) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මාර්තු 12 වන දා සිට 19 වනදා දක්වා රාජගිරිය මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා දෙපසට එක් මංතීරුවක් කාර්යබහුල හෝරාවන් වලදී බස්රථ ධාවනය සඳහා ප්‍රමුඛතා මංතීරු ලෙස වෙන්කර විශේෂ අධ්‍යයනයක් සිදුකළේය.

සාමාන්‍යයෙන් පැයට කි.මි. 20-21 ක සාමාන්‍යයකට යටත්ව ධාවනය වන වාහනයක් මෙම කාලය තුළදී 17 වනදා වන විට පැයට කි.මි. 30 ක සාමාන්‍යයක් දක්වා වර්ධනය විය.

එම කාලසීමාව තුළදී සිදුකළ අධ්‍යයනයේ වාර්තාවලට අනුව මාර්තු මස 14 වනදා නියමු ව්‍යාපෘති වපසරිය තුළ ගමන්ගත් බස්රථ 1,049 කින් මගීන් 32,650 දෙනෙක් ප්‍රවාහන පහසුකම් ලබාගෙන ඇත.

එහෙත් 19,238ක් වන කාර්, වෑන්, ත්‍රිරෝද සහ යතුරුපැදි එකතුවෙන් ගමන් පහසුකම් ලබාගෙන ඇත්තේ 28,851 ක් පමණි. මාර්තු 15 වන දින වන විට බස්රථ 1,253 ක් දක්වා වර්ධනය වී මගීන් 42, 440ක් සඳහා ප්‍රවාහන පහසුකම් සපයා ඇත.

අනෙක් ප්‍රවාහන කාණ්ඩයේ 21,927කින් මගී පහසුකම් සැලසී ඇත්තේ 32,891කට පමණි. මේ අනුව බස්රථ සඳහා මෙන්ම පාසල්, රැකියා කටයුතු සඳහා භාවිත කරන පොදු ප්‍රවාහන සේවය වෙනුවෙන් ප්‍රමුඛතා මංතීරු විධිමත්ව හඳුන්වා දෙන්නේ නම් ඉන් කාලය මෙන්ම මාර්ග තදබදයද සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කරගත හැකි යැයි මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment