22 March 2017

ICC මුල් පුටුව තිලංග සුමතිපාලට?



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) සභාපති ධුරයට පත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි අනාවරණය වේ. මේ වනවිට ඔහුට පක්‍ෂව රටවල් 04ක් (ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා සිම්බාබ්වේ) සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව් හෝ දකුණු අප්‍රිකාවේ සහයෝගය ලබාගෙන එම තනතුරට පත්වීමේ වැඩි අවස්ථාවක් ඔහුට හිමිව තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවල සහභාගිත්වයෙන් මීළඟට පැවැත්වෙන සැසිවාරයේදී තිලංග සුමතිපාල මහතාට එම තනතුර ලබාදීමට නියමිත බවද වාර්තා වේ. මීට දින කිහිපයකට ඉහතදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ඉන්දියාවේ ශෂාන්ක් මනෝහර් මහතා ඉල්ලා අස්වීමත් සමග එම තනතුර පුරප්පාඩුව පවතින අතර, දැනට පූර්ණ සාමාජික රටවල නියෝජිතයන්ගෙන් ජ්‍යෙෂ්ඨතම පරිපාලකයා ලෙසද සුමතිපාල මහතාව හැඳින්විය හැකිය. ඒ නිසා බොහෝදුරට අයි.සී.සී. සභාපති ධුරය සුමතිපාල මහතාට හිමිවීමට වැඩි අවස්ථාවක් ඇත.

මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලයක් දරන පුද්ගලයෙකු පවසා සිටියේ, මෙය ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ඉහළට ඔසවා තැබිය හැකි අවස්ථාවක් බවයි. එමෙන්ම ආසියානු රටවල් 04ක සහාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට හිමිව ඇති පසුබිමක, කොදෙව්වන් හෝ දකුණු අප්‍රිකානුවන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

තිලංග සුමතිපාල මහතා අදාළ තනතුර සඳහා පත්කිරීමට දකුණු ආසියානු කලාපයේ රටවල් එකඟතාව පළකර ඇත්තේ 'බිග් ත්‍රී' සංකල්පය ඔස්සේ අනෙකුත් සාමාජික රටවලට දැඩි අසාධාරණයක් සිදුවූ බවට පෙන්වා ඊට එරෙහිව කටයුතු කිරීම නිසාය. 'බිග් ත්‍රී' සංකල්පය ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හිටපු සභාපති ශෂාන්ක් මනෝහර්ට තනතුරෙන් ඉල්ලා අස්වීමට පවා සිදුවූ අතර, සුමතිපාල මහතා අදාළ තනතුරට පත්වුවහොත් සියලු සාමාජිකයන්ට සමානව සැලකීමට හැකිවේ යැයි අදාළ ක්‍රිකට් ආයතන ඉහළ නිලධාරියා පවසා සිටියේය. 
අයි.සී.සී. සභාපති තනතුර ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා දකුණු ආසියානු රටවල (ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය) සහාය ලබාගැනීමේ සාකච්ඡා වට කිහිපයක් ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන අතරතුරදී පවත්වා ඇති අතර, එම සාකච්ඡා සාර්ථක වී තිබේ. ඒ අනුව අදාළ දකුණු ආසියානු රටවලට අමතරව සිම්බාබ්වේ රාජ්‍යයද ශ්‍රී ලංකාවට එම තනතුර ලබාගැනීම සඳහා සහාය දැක්වීමට එකඟතාව පළකර තිබේ.

කෙසේ වෙතත් යම් හෙයකින් තිලංග සුමතිපාල මහතා අයි.සී.සී. සභාපති ධුරයට පත්වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත්විය යුතු අතර, මේ වනවිට එම තනතුර ලබාගැනීම සඳහා පාර්ශ්ව කිහිපයක් අතර සීතල යුද්ධයක් නිර්මාණය වී තිබේ. වාර්තා වන පරිදි ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරීන් තිදෙනෙකු සභාපති ධුරයට ලබාගැනීමේ උත්සහයක නිරතව සිටින අතර, සුමතිපාල මහතාගේ සමීපතමයෙකුට සභාපති තනතුර ලබාදීමේ සැලසුමක්ද පවතින බවද හෙළිවේ.

මේ පිළිබඳව තොරතුරු විමසීමට අප ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාව කිහිප වතාවක්ම සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරූවද ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීමෙන් එම උත්සාහය ව්‍යාර්ථ විය.

No comments:

Post a Comment