31 March 2017

තාජුඩීන් ඝාතනය දා මහින්ගේ ආරක්ෂක සේනාංකයේ ලේඛන ඉවත් කරලා



රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කළ දින හා ආසන්න දින කීපයක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‌ෂක සේනාංකය මගින් පවත්වාගෙන ගිය දෛනික ආරක්‌ෂක රාජකාරී සටහන් ලේඛනයේ කොළ කඩා හෝ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අනාවරණවී තිඛෙනවා.

ඒ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුවයි.

එම ලේඛනය භාරව ක්‍රියා කළ යුද හමුදා නිලධාරීන් කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියා.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‌ෂක සේනාංකය මගින් දෛනික ආරක්‌ෂක රාජකාරි සටහන් පවත්වා ගෙන ගිය අදාළ ප්‍රශ්න ගත ලේඛනයේ වර්ෂ 2012 මැයි 10 දා සිට එම 22 දා දක්‌වා සටහන් යොදා තිබූ කොළ කඩා හෝ කපා ඉවත් කර එහි පිටතට නොපෙනෙන ලෙස විනිවිද පෙනෙන සෙලෝටේප් පටියක්‌ දිග් අතට අලවා එහි දෙපස තිබෙන කොළ දෙක එකට අලවා තිබීම සැකයට භාජන වන කරුණක්‌ වන බැවින් එම ලේඛනය බාරව කටයුතු කළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගත් බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී වැඩිදුර වාර්තාවක්‌ ගොනුකරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ බව පැවසුවා.
පැමිණිල්ල කැඳවූ අවස්‌ථාවේ සිද්ධියට අදාළව රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
හිටපු ජනාධිපති ආරක්‌ෂක සේනාංකයට අනුයුක්‌තව සිටි යුද හමුදා නිලධාරීන්ගෙන් හා සෙසු නිලධාරීන්ගෙන් ලබා ගත් ප්‍රකාශයන්ගෙන් අනාවරණය වූ කරුණුවල සත්‍ය අසත්‍යතාව පරීක්‍ෂා කරනු පිණිස තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බවද මෙම කාල වකවානුව තුළ ලේඛනයේ සඳහන් නිලධාරීන් සහ සෙසු නිලධාරීන් විසින් සිදු කරන ලද රාජකාරී පිළිබඳව විමසා යුද හමුදාව සහ නාවික හමුදාව මගින් මගින් වාර්තා කැඳවා ඇති බවද පැවැසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනතෙක්‌ ඊට ප්‍රතිචාර ලැබී නොමැති බවද දන්වා සිටියා.
ඝාතනයට ලක්‌වූ තාජුඩීන් අවසන් වරට ගමන් ගත් මෝටර් රථය ලුහුබැඳ පැමිණි පුද්ගලයා අනාවරණය කර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පුළුල් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය වැඩිදුර වාර්තාව මගින් දන්වා තිඛෙනවා.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත්වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකාර අනුර සේනානායක ලබන 05 දා තෙක්‌ තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙසත් එදිනට සිද්ධියට අදාළව පවත්වන පරීක්‍ෂණයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්‌ ගොනු කරන ලෙසත් නියෝග කරනු ලැබුවා.

No comments:

Post a Comment