20 April 2017

විශ්වවිද්‍යාල 17 සහ අනුබද්ධ ආයතන 34ක වයිෆයි කලාප



රාජ්‍ය විශ්වවිද්‍යාල 17 සහ අනුබද්ධ ආයතන 34 ක් වයිෆයි කලාප බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් රජය ආරම්භ කර තිබේ.

විශ්වවිද්‍යාල සිසුන් හා ආචාර්යවරුන්ට නොමිලේ වයිෆයි පහසුකම් ලබා දීමත්, මෙරට විශ්වවිද්‍යාල ජාත්‍යන්තර මට්ටමට ගෙන යෑමේ අරමුණ ඉටු කර ගැනීම සඳහාත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන අතර මේ වසරේදී රජය මේ සඳහා රුපියල් මිලියන 350 ක මුදලක් වෙන් කර තිබේ.

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හොරණ ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනය කොහුවල පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය පරිශ්‍රයන් පහ පළමු අදියරේදී වයිෆයි කලාප බවට පත් කෙරෙන අතර මැයි මස අවසානයේදී එම කටයුතු නිම කිරීමට නියමිතය.

දෙවැනි අදියර යටතේ රුහුණු විශ්වවිද්‍යාලය. කැළණිය විශ්වවිද්‍යාලයේ ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලය, නැඟෙනහිර විශ්වවිද්‍යාලය, ත්‍රීකුණාමල මණ්ඩපය, වව්නියා මණ්ඩපය හා කිලිනොච්චිය ඉංජිනේරු පීඨය පරිශ්‍ර තුළ වයිෆයි කලාප ඇති කිරීමට නියමිතය.

එම අදියර අගෝස්තු මස දී ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමට නියමිතය.

නිදහස් වයිෆයි කලාප ඇති කිරීමෙන් සිසුන්ට සිය පැවරුම් හා අධ්‍යාපනික කටයුතු පහසුවෙන් කර ගැනීමටත් ආචාර්යවරුන්ට එම පැවරුම් පහසුවෙන් අධීක්ෂණය කිරීමටත් ඉඩ කඩ ලැබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙරට විශ්වවිද්‍යාල ජාත්‍යන්තර තලයට ගෙන ඒමට නම් මෙවැනි නවීන තාක්ෂණික ක්‍රම විශ්වවිද්‍යාල තුළ සිසුන් හා ආචාර්යවරුන් භාවිතා කළ යුතු බවත් එම අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

No comments:

Post a Comment