20 April 2017

තාජුඩීන් ඝාතනය යට ගසන්න PSDය වාර්තා පොත්වල පිටුත් ගලවලා



රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය වූ කාල පරාසය තුළ දී හිටපු ජනපති ආරක්ෂක සේනාංකය මඟින් දෛනිකව පවත්වාගෙන ගිය රාජකාරි සම්බන්ධ සටහන් ලේඛනයේ වර්ෂ 2012/5/16 දින සිට 2012/5/22 දක්වා කාලයට අදාළව කොළ කඩා හෝ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් එම ලේඛනය භාරව සිටි යුද හමුදා නිලධාරීන් දෙදෙනා රහස් පොලිසිය වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රකාශ ලබා ගත් බවට රහස් පොලිසිය  (18) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙරාම් ට්‍රොස්කි මහතා වෙත දැනුම් දුන්නේය.

මීට අමතරව මරණකරු වූ තාජුඩීන් ‍මිය යාමට ආසන්න අවස්ථාවේ දී ඔහු සමඟ පිළිස්සීමට ලක් වූ කාර් රථයේ ගමන් ගත් චමින්ද ජයප්‍රකාශ් නැමැත්තාගේ ජංගම දුරකථනයට ලැබී ඇති සැක සහිත ඇමතුමකට අදාළව ද යුද හමුදා සමාජිකයන් දෙදෙනකු ද රහස් පොලිසිය වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රකාශ ලබා ගත් බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණ.

ඔවුන්ගේ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතා තහවුරු කර ගැනීම සඳහා ඔවුන් භාවිත කරන ලද දුරකථන අංකවලට අදාළ ඇමතුම් වාර්තා ලබා ගෙන සූක්ෂමව විශ්ලේෂණාත්මක විමර්ශනයක් පවත්වන බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත දැන්වීය.

මේ සිද්ධියට අදාළව රහස් පොලිසියට පුද්ගලික ඔත්තුකරුවන් ලබා දෙන තොරතුරු ඔස්සේ ද සිය විමර්ශන ආරම්භ කර ඇති බව පවසන රහස් පොලිසිය ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා ඇති බවට අධිකරණයේ දී කරුණු අනාවරණය විය.

බන්ධනාගාර අධිකාරිවරයා විසින්  (18) සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති තෝල්කමුදලිගේ අනුර සේනානායක මහතා අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි අතර, ඔහු තවදුරටත් මේ මස 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා මෙහි දී නියෝග නිකුත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි නාරාහේන්පිට පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපති අංගොඩගේ දොන් සුමිත් චම්පික පෙ‍රේරා මහතා දැනට මහාධිකරණ ඇප මත සිටින අතර, ඔහු මේ මස 27 අධිකරණයේ පෙනී සිටීමට ද නි‍යෝග නිකුත් කර ඇත.

වර්ෂ 2012 /5/16 සිට 2012/5/17 දක්වා කාලයේ දී මොහොමඩ් වසීම් තාජුඩීන් වන මරණකරු භාවිත කළ ණය කාඩ්පත් සම්බන්ධ තොරතුරු කැඳවුවද මෙතෙක් බැංකු මඟින් නිකුත් කරන ලද විස්තර අනුව ලංකා බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, නේෂන්ට්‍රස්ට් බැංකුව , එන්.ඩී.බී බැංකුව හා ෆෑන් ඒෂියා බැංකු වල ගිණුම් ඔහු විසින් පවත්වාගෙන නොගිය බවට වාර්තා කර ඇතැයි ද රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණ.

No comments:

Post a Comment