01 April 2017

රවිරාජ් ඝාතනයට නිදොස් කළ නාවික බුද්ධි නිලධාරීන් ‘අතුරුදහන්’



දස වසරකට ඉහතදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහමග ඝාතනය සම්බන්ධ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලද නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ආගිය අතක් නැති බව උසාවියට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් සොයා ගැනීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය රහස් පොලිසියට නියෝග කොට තිබේ.

නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලද්දේ සර්ව සිංහල ජූරි සභාවක් විසින් ඉකුත් වසර අගදී දුන් රවිරාජ් ඝාතන තීන්දුව ට එරෙහිව හිටපු මන්ත්‍රී බිරිඳ සශිකලා මහේෂ්වරන් විසින් ගොනු කරන ලද අභියාචනයකින් අනතුරුවය.

අභියාචනාධිකරණ විනිසුරු එච් සී ජේ මඩවල සහ එල් ටී බී දෙහිදෙනිය හමුවේ පෙත්සම විභාගයට ගන්නා ලද අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට කියා ඇත්තේ සැකකරුවන් තිදෙනා සොයාගත නොහැකි වග නාවික හමුදාපතිවරයා දැනුම් දී ඇති බවයි.

ප්‍රසාද් චන්දන කුමාර හෙවත් නේවි සම්පත්, ගාමිණී හෙට්ටිආරච්චි, සහ ප්‍රදීප් චාමින්ද යන නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳව සොයා බලා ඔවුන් ඉන්නා තැනක් සොයාබලා වාර්තා කරන්නැයි අභියාචනාධිකරණය රහස් පොලිසියේ අධ්‍යක්ෂට නියෝග කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබු නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධ චෝදනා ජූරි සභාවක් ඉදිරියේ විභාග කිරීම නීතියට පටහැනි හෙයින් මුල් තීන්දුව අවලංගු කොට නඩුව නැවත විභාගයට ගන්නා ලෙස කොළඹ මහාධිකරණයට නියෝග කරන මෙන් සශිකලා මහේෂ්වරන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

පෙත්සම ජුනි මස 16 වනදා වැඩිදුර සලකා බැලීමට නියමිතය.

No comments:

Post a Comment