01 April 2017

වරායේ ණය නොගෙව්වොත් එය චීනයට අයිති වෙනවා



හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ගත් ණය 2017 වසර වන වට ගෙවා අවසන් නොකළා හොත් පසුගිය රජය ඇති කර තිබූ ගිවිසුම අනුව වරායේ අයිතිය චීන සමාගමට පවරා දිය යුතු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ත්‍රීකුණාමලය, මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයයේ පැවැති යොවුන් පුරය 2017 තරුණ හමුවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ඊයේ (31දා) පැවැසීය.

කුමන පාර්ශ්වය විවිධ චෝදනා කළත් ගැටලුවක් නැති බවත් රට දියුණු කිරීමට අවශ්‍ය බවත් ඔහු පැවැසීය. ණය ගෙවීමට නොහැකිව වරාය චීන සමාගමට ලබා දෙනවාද නැත්නම් එය රජය යටතේ තබාගෙන දියුණු කරනවාද යන්න තීරණය කළ යුතු බවත් ඔහු පැවැසීය.

“විශාල ණය උගුලක් බවට පත්වී තිබෙන හම්බන්තොට වරාය ඉදිරියේදී ජාතික සම්පතක් බවට පත් කිරීම අපේ අපේක්‍ෂාවයි. හම්බන්තොට වරාය ඉදිකිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා චීන එක්ෂිම් සංවර්ධන බැංකුවෙන් ඩොලර් කෝටි 130 ක ණය අරගත්තා. අවුරුදු 5ක් ඇතුළත මුදල් උපයා ගත හැකි බවත් ව්‍යාපෘති සඳහා ලබා ගත් ණය 2016 වර්ෂය වනවිට ගෙවීමට හැකි බවත් නිළධාරීන් පවසා තිබුණා. නමුත් වරායෙන් ආදායම් ලැබුණේ නැහැ. විශාල වෙහෙසක් දරා මේ වන විට අපට ගෙවන්නට හැකිවී තිබෙන්නේ ඩොලර් කෝටි 20 ක් පමණයි.

2014 වසරේ චීන ජනාධිපතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ආණ්ඩු දෙක අතර ගිවිසුමකට පැමිණියා. ඒ අනුව චීන ආණ්ඩුවේ සේද මාවත ව්‍යාපෘතියට හම්බන්තොට ඇතුල් කර, හම්බන්තොට වරායේ කොටසක් දියුණු කිරීමට චීන සමාගම් දෙකකට ලබා දුන්නා. නමුත් මේ ක්‍රමය අවාසි දායක බව අපට පෙනී ගියා. එම ක්‍රමය යටතේ අප ණය ගෙවන විට එයින් ලාභ ලබන්නේ චීන සමාගමයි. මෙය පුදුම ක්‍රමයක්. අප පහන් පත්තු කළත් නිවන් දකින්නේ ඔවුන්. ණය ගෙවීමටවත් නොහැකි තත්ත්වයක මේ ක්‍රමයට යා යුතුද?

අප බලයට පැමිණෙනවිට අපේ ආර්ථිකය ඉතාමත් අමාරු තැනකයි තිබුණේ කෝටි 3600 ක විශාල ණය මුදලක් ගෙවීමට සිදුවුණා. ගත් ණය ප්‍රමාණය හම්බන්තොට වරායෙන් ගෙවීමට නොහැකි වූ නිසා කොළඹ වරායෙන් ගෙවීමට සිදුවුණා. මේ ණය ගෙවීමට වැට් බද්ද වැඩි කළා නම් ඡන්දය ලබාදුන් අය අපව ගහලා පන්නාවී. ජනතාව අමාරුවේ දමන්නට බැහැ. මේ තත්ත්වය හමුවේ 2016 වසරේ ඇමැති කණ්ඩායමක් සමග මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීමට චීනයට ගියා. එහිදී අප පෙන්වා දුන්නේ මේ ණය කන්දරාව ගෙවීමට නොහැකි බවයි. මෙය අසාර්ථක ක්‍රමයක් බවට පෙන්වාදී මෙම ණය අහෝසි කරන මෙන් ද ඉල්ලා සිටියා. ඉන්අනතුරුව චීන ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර අපට සහනයක් ලබා දීමට එකඟවුණා. නමුත් ණය අහෝසි කිරීමට නොහැකි බව ඔවුන් පවසා සිටියා.

හම්බන්තොට වරායේ වැඩ කටයුතු ඉදිරියට ගෙනයන්න චීන-ලංකා හවුල් සමාගමකට බදු දීමටත් එම බද්ද එකවරම අය කරගෙන ඒ මගින් සම්පූර්ණ ණය ගෙවන ලෙසට යෝජනා ඉදිරිපත් වුණා. ණය උගුලෙන් බේරීමට මෙය කදිම අවස්ථාවක් හෙයින් අප ඊට එකඟත්වය පළ කළා. චීන ආණ්ඩුවෙන් ආයතන 2ක් ඉදිරිපත් කළා. අප වරාය අධිකාරිය නම් කළා. චීන සමාගම් දෙකින් එක් සමාගමක් ඩොලර් කෝටි 110 ක් බදු දීමට කැමැත්ත පළ කර සිටියා.

එම මුදල ගෙව්වායින් පසු අපට ණය බරක් පැටවෙන්නෙ නැහැ. ඒ සමග අපට සියයට 20 ක කොටස් නොමිලේ ලබා දෙන බවත්, ඉතුරු කොටස් පිළිබඳව සාකච්ඡා කළ හැකි බවත් පැවසුවා. අපේ කොටස් ප්‍රමාණය වැඩි කළ හැකිද කියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විමසා සිටියා. සියයට 40 ක කොටස් ලබාදිය හැකිවූවත් ඒ කොටස්වල මිල ඩොලර්වලින් ගෙවීමට සිදුවන බව ඔවුන් දන්වා සිටියා. සියයට 20 ක කොටස ගෙවීමට පවා අමාරු මොහොතක මෙම මුදල් ඩොලර්වලින් ගෙවීම ගැටලුවක්. ගෙවිය හැක්කේ කෙසේද යන්න පැහැදිලි කර සිටියා. අවුරුදු 10 ක කාල සීමාවක් ලබා දෙනවා නම් සියයට 40 ක කොටස් නොව සියයට 45 ක කොටස් වුවත් ලබා ගැනීමට හැකි බව අප ඔවුන්ට පෙන්වා දුන්නා.

අවසන් එකඟතාවකට පැමිණ චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගම පිහිටුවීමත් සමගම එම ඩොලර් කෝට් 110 ක් ලැබෙනවා. එවිට අපේ ජාතික ණය බරින් ඩොලර් කෝටි 110 අඩුවීමේ වාසිය අපේ රටටයි. අවුරුදු කිහිපයක් තුළ කර්මාන්ත ශාලා 700, 800 ක ප්‍රමාණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

වරාය සඳහා ගත් ණය 2017 වනවිට ආපසු ගෙව්වේ නැති නම් පසුගිය රජය ඇති කර තිබුණ ගිවිසුම අනුව වරායේ අයිතිය චීන සමාගමට පවරා දිය යුතු වනවා. අප මේ පිළියම් සොයන්නේ ඒ අර්බුදයටයි.
මේ සඳහා පිළියම් සොයන විට රට විකුණන බවට කෑගහනවා. පෝර්ට් සිටි ව්‍යාපෘතිය හෙක්ටයර් 20 ක් හෝ 30 ක් සින්නක්කරයට විකිණීමට සැලසුම් කර තිබුණා. අප එය වෙනස් කළා. සින්නක්කර දීම වෙනුවට 99 අවුරුදු බදු පදනම යටතේ ඉඩම් ලබාදීමට අප තීරණය කළා.”

No comments:

Post a Comment