03 April 2017

හමුදා පරිපාලනයට යුද අපරාධ චුදිතයකු පත් කළ බවට ශ්‍රී ලංකාවට චෝදනා



යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන යුද සෙන්පතියකු ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහලම පරිපාලන නිලධාරියා ලෙස පත් කිරීම යුක්තිය පතා සිටින දස දහස් සංඛ්‍යාත යුද පීඩිතයන්ට එල්ල කළ අතුල් පහරක් ලෙසින් හෙලා දකින මුල් පෙලේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් රජය එමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දී ඇති පොරොන්දු ගර්හාවට ලක් කර ඇතැයි හෙලා දැක තිබේ.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ විධායක ජනරාල් ධුරයට 30 බ්‍රහස්පතින්දා පත් කරන ලද්දේ යුද වැදුනු නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝන චෝදනා වලින් ආරක්ෂා කිරීමට කැප වන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කුරුණෑගලදී සහතික වී දිනකට පසුය.

“ජිනීවාහි මානව හිමිකම් මණ්ඩලය අවසන් වී දින කීපයක් යත්ම මේ පත්වීම කිරීම සාහසික ක්‍රියාවක් වන අතර ආණ්ඩුව වගවීම හෝ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බරපතල කොට නොසලකන බව මේ පත්වීමෙන් පෙන්නුම් කෙරෙයි,” යනුවෙන් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සිට නිවේදනයක් නිකුත් කරන සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පවසයි. “මේ පුද්ගලයා අඩුම වශයෙන් ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් පිළිතුරු දීමේ වගකීමෙන් බැඳෙන අයකු බව එක්සත් ජාතීන්ගේ හිටපු මහ කොමසාරිස් නවී පිල්ලේ පවසා තිබුනි,” යි ඇය වැඩි දුරටත් කියා සිටියාය.

පූර්ව සෝදිසිය

නිලතල වලට පත් කරනු ලබන රජයේ සහ ආරක්ෂක අංශ වල නිලධාරීන් පුර්ව සෝදිසියකට භාජන කරන බව  ශ්‍රී ලංකා ආණ්ඩුව ද හවුල් වී ජිනීවාහිදී සම්මත කරගන්නා ලද එක්සත් ජාතීන්ගේ යෝජනා දෙකින්ම එකඟ වී තිබෙන බව ITJP සිහිපත් කර දෙයි.

“මෙය වින්දිතයන් ට පමණක් නොව, පූර්ව සෝදිසි වැඩ පිළිවෙලක් දියත් කරන බවට ශ්‍රී ලංකා රජය පොරොන්දු වූ ජාත්‍යන්තර ප්‍රජාවටත් කරන ලද අවමානයකි,” යි යැස්මින් සූකා පවසන්නීය. “අපරාධකරුවන් බවට චෝදනා ලබන පුද්ගලයන්ට දිගටම වරදාන දීම  සිදු කරන ආණ්ඩුවක් විදේශ වලට නිලධාරීන් යවද්දී යුද අපරාධ හා සම්බන්ධ වීමේ චෝදනා සම්බන්ධයෙන් පුර්ව සෝදිසියක් කිරීම සම්බන්ධයෙන් පැහැදිලිවම විශ්වාස කළ නොහැකි නිසා එක්සත් ජාතීන් විසින් කළ යුත්තේ ශ්‍රී ලංකාවෙන් එවන සාම සාධක හමුදා භට පිරිස් යොදා ගැනීම අත් හිටුවීමයි.”

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ දෙමළ ජනඝාතක අවසාන අදියරේදී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ අණ යටතේ පැවති කුප්‍රකට බලඇණියක්  ලෙස ITJP  විසින් හෙලා දැක ඇති 58 වැනි සේනාංකය විසින් සිදු කරන ලද යුද අපරාධ ගනයේ ලා සැලකෙන “සුදු කොඩි භාරවීම” ඇතුළු ප්‍රධාන සිදුවීම් කිහිපයක් එම සංවිධානය විසින්  මාර්තු 31 දා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

වන්නි හමුදා ප්‍රහාර නිසා පීඩාවට පත් දෙමළ ජාතිකයන් විසින් නිව්යෝක්හි දී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට විරුද්ධව පැවරුණු නඩුවක් අධිකරණය විසින් ඉවත දමන ලද්දේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙසින් පත් කර යවන ලද ඔහු රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය විසින් සහතික කෙරුණු රැකවරණය ලද නිසාය.

යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් වරයාට එරෙහි චෝදනා නිසා 2012 දී ඔහු සාමසාධනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ඉහලම උපදේශක මණ්ඩලයකින් ඉවත් කරන ලද බවද ITJP සිහිපත් කර දෙයි.

වර්තමාන විධායක ජනරාල් වරයා ඉන් අනතුරුව තානාපති නිලයකට පත් කර යවනු ලැබූ දකුණු අප්‍රිකාව විසින් ඔහු භාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඔහුට එරෙහි චෝදනා ගණනාවක් අඩංගු නෛතික ලිපි ගොනුවක් එරට රාජ්‍ය නොවන සංවිධානයක් විසින් භාර දීමෙන් අනතුරුව බව ITJP වැඩිදුරටත් පවසයි.

radiogagana

No comments:

Post a Comment