08 May 2017

නරේන්ගේ ප්‍රහාරය හමුවේ කෝලිගේ පිල අසරණවෙයි

සුනිල් නරේන් සහ ක්‍රිස් ලයන්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඊයේ (07 වැනිදා) සමත්විය. දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 46 වන තරගය බැංගලෝර් හිදී පැවැතිවිණි.

ජයග්‍රහණය සදහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 15.1 කදී කඩුලු හතරක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

විශිෂ්ට පිතිහරඹයක නිරතවූ සුනිල් නරේන් අයි.පී.එල්. ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සමකරමින් පන්දු 15 කදී අර්ධ ශතකය ලබාගැනීමට සමත්විය. 2014 වසරේ පැවැති අයි.පී.එල්. තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව පන්දු 15 කදී වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමින් ඊට හිමිකම් කීමට යුසූෆ් පතාන් සමත්වී සිටියේය.

සුනිල් නරේන් දැවීයන විටදී පන්දු 17 කට මුහුණ දෙමින් හයේ පහර හතරක් සහ හතරේ පහර හයක් සමගින් ලකුණු 54 ක් ලබා ගැනීමට සමත්විය. නරේන්ට අනගි සහයක් ලබාදුන් ක්‍රිස් ලයන්ද වේගවත් පිතිහරඹයක නිරතවෙමින් පන්දු 22 කදී ලකුණු 50 ක් ලබාගත් අතර ඊට හයේ පහර හතරක් සහ හතරේ පහර පහක් ඇතුළත් විය.

පළමු කඩුල්ල සදහා සුනිල් නරේන් සහ ක්‍රිස් ලයන් එක්ව පන්දු 37 කදී ලකුණු 105 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට සමත්වූහ.

අයි.පී.එල්. ඉතිහාසයේ පළමු ඕවර 6 තුළඳී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද බිඳ හෙළීමටද කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමත්වූ අතර ලකුණු 100 ක් ලබාගනිමින් මීට පෙර එම වාර්තාවට හිමිකම් කීමට චෙන්නායි සුපර්කිංග්ස් පිල සමත්වී සිටියේය.

පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 158 ක් ලබාගැනීමට සමත්විය.

තරගයේ යවන ලද පලමු පන්දුවෙන්ම ක්‍රිස් ගේල් දවාගැනීමට උමේෂ් යාදව් සමත්වූ අතර අනෙක් ආරම්භක පිතිකරුවූ මංදීප් සිං පන්දු 43 කට මුහුණදෙමින් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 52 ක් රැස්කිරීමට සමත්විය.

ඉනමි අවසන් වනතුරු කඩුල්ලේ රැඳි සිටි ට්‍රැවිස් හෙඞ් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 47 කදි හයේ පහර පහක් සහ හතරේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 75 ක් රැස් කිරීමට සමත් වූයේය.

සිවුවැනි කඩුල්ල සදහා පන්දු 63 කදී ලකුණු 71 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට මංදීප් සිං සහ ට්‍රැවිස් හෙඞ් සමත්වූ අතර උමේෂ් යාදව් ලකුණු 36 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ නායක ගෞතම් ගාම්බීර් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් – ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 158
(මංදීප් සිං 52, ට්‍රැවිස් හෙඞ් නොදැවී 75, උමේෂ් යාදව් 36/3, සුනිල් නරේන් 29/2)

කොල්කටා නයිට් රයිඩර්ස් – ඕවර 15.1 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 159
(ක්‍රිස් ලයන් 50, සුනිල් නරේන් 54, පවන් නෙගී 21/2)

No comments:

Post a Comment