08 May 2017

අල්ලස්, දූෂණ මහජන පැමිණිලි විමර්ශන ලේකම් කාර්යාලය වසා දමයි

අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ඉදිරිපත් වන සෘජු මහජන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ලේකම් කාර්යාලය වසා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ. විවිධ ආයතන සම්බන්ධයෙන් විමර්ශනය කරන මෙම ලේකම් කාර්යාලයට අගමැති කාර්යාලයේ වාහන පරීක්ෂණ කටයුතු යොදා ගැනීමෙන් මේ තත්ත්වය උද්ගත වී ඇතැයි වාර්තා වේ.

අරලිය ගහ මන්දිරය ආසන්නයේ පිහිටි දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යලය 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු ස්ථාපිත කරන ලද්දකි. මෙම ලේකම් කාර්යාලයේ නිලධාරීන් සෑම සතියකම හමු වී දූෂණ විරෝධී කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ අතර ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන් එහි සාමාජිකයෝ වූහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් මතත මෙම ලේකම් කාර්යාලය ස්ථාපිත කරන ලදි. මුල් කාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් ද මෙම කමිටුවේ සාමාජිකයත්වය දැරෑ අතර පසුව ඔවුහු ඉන් ඉවත් වූහ. ඉන් අනතුරුව ආණ්ඩුවේ නියෝජිතයෝ පමණක් එහි සාමාජිකත්වය දැරූහ.

කෙසේ වෙතත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, ජාතික ප්‍රසම්පාදන කොමිසම සහ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම යන රාජ්‍ය ආයතන සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීම මෙම ලේකම් කාර්යාලය වසා දැමීමට නිල හේතු වී ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ විමර්ශන සහ අනෙකුත් කටයුතු සඳහා අග්‍රමාත්‍ය කාර්යාලයේ වාහන භාවිත කර ඇතැයි වාර්තා වේ. විමර්ශනයක් සම්බන්ධ කටයුත්තකට ඉකුත් දිනක කමිටුවේ නිලධාරීන් පිරිසක් මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකුගේ නිවසකට ගොස් ඇති අතර ඒ සඳහා යොදාගෙන ඇත්තේ ද අග්‍රාමාත්‍ය කාර්යාලයේ රථයකි.

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අනතුරු අඟවා ඇති අතර මෙවැනි සිදුවීම් හේතුවෙන් පසුගිය ආණ්ඩුවට චෝදනා එල්ල වූ සුදු වෑන් වැනි චෝදනාවක් මේ ආණ්ඩුවට ද එල්ල වනු ඇතැයි ඔවුන් පෙන්වා දී ඇත. ජනමාධ්‍යවේදීන් ඇතුළු ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වන පිරිස් පැහැර ගැනීම සඳහා සුදු වෑන් එවූ බවට පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා එල්ල විය.

විමර්ශන කටයුතුවලදී නවාතැන් පහසුකම්, ආහා වියදම් ඇතුළු වියදම් පියවා ගැනීමට ක්ෂේත්‍ර දීමනාවක් දෙන්නැයි දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ. මේ වසර ආරම්භයේදී මෙම ලේකම් කාර්යාලයේ කාර්යභාරය මාස හයකින් දීර්ඝ කල අතර අතර එය ජූනි මස 30 වැනිදායින් අවසන් වේ.

– ලංකාදීප –

No comments:

Post a Comment