08 May 2017

කුණු කන්දෙන් මතු වූ මල්වත්ත



ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ නගරයට කිලෝ මීටර් 2 ක්‌ පමණ දුරින් පිහිටි මීතොටමුල්ල කුණු කන්ද පසුගියදා නාය ගියේ 33 දෙනකු මරුමුවට පත්කරමිනි. එම ෙ€දචාචකයෙන් පසු ලංකාවේ කසළ අර්බුදය පිළිබඳව විශාල කතාවක්‌ ඇතිවිය. ඒ කසළ සංවාදය තවම අවසන් නැත. කොළඹ කසළවලටද තවමත් විසඳුමක්‌ නැත. කොළඹ, මීතොටමුල්ල කුණු කන්ද මගින් ඇතිවූ පාරිසරික අර්බුදයට සමාන අර්බුදයක්‌ ඊශ්‍රාලයේ ටෙල් අවිව් (TEl AViV) නගරයේ පිහිටි හයිරියා (Hiriya) කුණු කන්ද මගින්ද ඇතිවිය. නමුත් ඊශ්‍රාලයේ දේශපාලනඥයන් ලංකාවේ දේශපාලනඥයන් මෙන් කුණු වලින් දේශපාලනය කරන්නට ගියේ නැත. ඒ නිසා ඊශ්‍රාලයට පිළිලයක්‌ වීමට ගිය කුණු කන්ද මැද පෙරදිග කලාපයේ නවීනතම තෙත්බිම් උද්‍යානය බවට පත් කිරීමට ඔවුන්ට හැකිවිය.

හයිරියා කුණු කන්ද (Hiriya Garbage Dump) ලෙසින් හැඳින්වූ මෙම කුණු කන්දේ ඉතිහාසය 1952 වර්ෂය තෙක්‌a දිවයයි. 1998 වසර වන විට මෙම කුණු කන්දේ දිග සැතපුම් භාගයක්‌ සහ උස මීටර් 80 ක්‌ පමණ විය. ඒ වනවිට හයිරියා කුණු කන්දට දිනකට බැහැර කළ කසළ ප්‍රමාණය ටොන් තුන් දහසකි. කුණු කන්ද මගින් ටෙල් අවිව් නගරයේ භූගත ජල පද්ධතිය පමණක්‌ නොව වායු ගෝලයද බරපතළ ලෙස දූෂණයකට ලක්‌විය. කුණු කන්දේ කසළ ආහාරයට ගැනීමට පැමිණි පක්‌ෂීන් නිසා ටෙල් අවිව් නගරයේ පිහිටි බෙන් ගුරියන් (Ben Gurion) ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩ බැස්‌ස වීමටද බාධා ඇති විය. කසළ කන්දේ තත්ත්වය බරපතළ බව තේරුම් ගත් ඊශ්‍රායල රජය වහාම 1998 වසරේදී හයිරියා කුණු කන්දට කසළ දැමීම නතර කර කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය ආරම්භ කළේය.

2001 වසරේ ආරම්භ කරන ලද මම කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය මගින් 2014 වන විට හයිරියා කුණු කන්ද මැදපෙරදිග පිහිටි නවීනතම තෙත් බිම් උද්‍යානය බවට පත් කිරීමට ඊශ්‍රාල රජයට හැකිවිය. අද එම තෙත් බිම් උද්‍යානය හඳුන්වන්නේ ඒරියල් ෂරොන් උද්‍යානය (Ariel Sharon Park) නමිනි. ඒරියල් ශැරොන් යනු ඊශ්‍රාලයේ හිටපු කීර්තිමත් අගමැතිවරයෙකි.

මීට වසර 19 කට පෙර කුණු වලින් පිරී ගිය, දුඟද හමන හයිරියා කුණු කන්ද අද මල්වලින් පිරී ගිය උද්‍යානයකි. නිල මැස්‌සන් වෙනුවට එහි අද සිටින්නේ සමනලුන් සහ මී මැස්‌සන්ය. අක්‌කර 2000 ක්‌ පුරා පැතිර ගොස්‌ ඇති ඒරියල් ෂරොන් උද්‍යානයේ අක්‌කර 150 ක විශාලත්වයකින් යුත් කැළි කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්‌ථානයක්‌ද ඉදිකර ඇත. ඊශ්‍රාලයේ නගර 18 ක කුණු අදටත් ගෙන එන්නේ මෙම ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්‌ථානයටය. දිනකට නිවාසවලින් එකතු කරන කසළ ටොන් 3000 ක්‌ පමණද, කර්මාන්ත ශාලාවලින් ඉවත් කරන කසළ ටොන් 2000 ක්‌ පමණද මෙහිදී ප්‍රතිචක්‍රීයකරණ කරනු ලබයි. ඊට අමතරව කුණු කන්දේ කැණීම් කර ඉදි කරන ලද ළිං 80 ක්‌ මගින් ජීව වායුව නිපදවීමේ ව්‍යාපෘතියක්‌ද ක්‍රියාත්මක වෙයි.

එරියල් ෂරොන් උද්‍යානය නැරඹීමට දිනපතා සංචාරකයන් විශාල පිරිසක්‌ පැමිණෙන අතර එම සංචාරකයන් සඳහා ඇවිදීමේ මං තීරු, පාපැදි මංතීරු, ජල පොකුණු, වගාබිම්, ආසන 50,000 කින් සමන්විත රංග භූමියක්‌ද ඉදි කර ඇත.

2011 වසරේදී හයිරියා කුණු කන්ද ගැන. 'The Hiriya Project: A Mountain change' නමින් කෙටි චිත්‍රපටයක්‌ද නිපද වූ අතර එම චිත්‍රපටයට එක්‌සත් ජාතීන්ගේ දේශගුණ වෙනස්‌වීම් පිළිබඳ සම්මුතිය (UNFCCC) මගින් පැවැත්වූ පිවිතුරු නගර සංවර්ධනය තරගාවලියේදී පළමු තැන හිමි විය.

|රසී වීරසිංහ

No comments:

Post a Comment