11 June 2017

හමුදා භූමිය ෂැංග්‍රිලාට දීමෙන් රජයට කෝටි 750ක පාඩුවක්


යුද හමුදා මූලස්ථානය පිහිටි කොළඹ ගාලු මු‍වදොර ආසන්නයේ භූමි භාගය ෂැංග්‍රිලා හෝටල් සමූහයට ලබා දීම උදෙසා යුද හමුදා මූලස්ථානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පසුගිය රජය සමයේ ගත් තීරණයක් නිසා මේ වන විට රජයට කෝටි 750ක පමණ මුදලක් අහිමිව ඇතැයි වාර්තා වේ.

යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ල අකුරේ‍‍ගොඩට ගෙන යෑම පිණිස සියලු පිඹුරුපත් සකසා පළමුව සිදු කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටල් සමූහයට භූමි භාගය ලබා දීම වන අතර, මේ නිසා යුද හමුදාපතිවරයාගේ කාර්යාලය සහ තවත් අධ්‍යක්ෂවරුන්ගේ කාර්යාල කිහිපයක් හැර අනෙකුත් කාර්යාල සියල්ල ක්‍රමයෙන් එම ස්ථානයෙන් ඉවත් කර කැලණිය, නාරාහේන්පිට, කොම්පඤ්ඤවිදිය‍, තුම්මුල්ල, ආර්ඒ ද මැල් මාවත ඇතුළු ස්ථාන රැසක අධික කුලී පදනමක් යටතේ ස්ථාපිත කිරීමට සිදුව ඇත.

2011 වසරේදී ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේදී සිදු කරන ලද මේ ක්‍රියාවලිය නිසා මසකට රුපියල් කෝටි 10කට අධික මුදලක් කාර්යාල උදෙසා ගෙවන්නට යුද හමුදාවට සිදුව ඇත.

මේ සම්බන්ධව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ 2011 වසරේ සිට මේ තත්ත්වය උද්ගතව තිබීම සැබෑවක් බවත් මේ වන විට බත්තරමුල්ල යුද හමුදා මූලස්ථානයේ වැඩ කටයුතු කඩිනමින් සිදු කරන්නට උපදෙස් ලැබී ඇති අතර ලබන වසරේ අප්‍රේල් මාසය වන විට යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ලට ගෙන යෑමට හැකි වනු ඇති බවයි.

No comments:

Post a Comment