11 June 2017

රඩ්යාර්ඩ් කිප්ලිං ලොව පුරා පාඨකයන්ට ආලෝකයක්

දහනව වැනි සියවස අගභාගයේදී සහ විසි වැනි සියවස මුල් භාගයේදී ගද්‍ය මෙන් ම පද්‍ය සාහිත්‍යට ද අගනා නිර්මාණ ගණනාවක් දායාද කළ විශිෂ්ට ලේඛකයකු ලෙස රඩ්යාඩ් කිප්ලිං ඉතිහාසයට එක්වේ. ඔහු අතින් ලියැවුණු ද ‘ජන්ගල් බුක්’, ‘ද මෑන් හූ වුඩ් බී කිංග්’, ‘කිම්’, ‘ගුංගාඩින්’, ‘ඉෆ්’ වැනි ගද්‍ය පද්‍ය නිර්මාණ අතිශයින් ම පාඨක ආකර්ෂණයට ලක් විය. මේ නිර්මාණ බොහොමයක් අදට ද ජනප්‍රියය. 1907 දී කිප්ලිං සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ එය දිනාගත් ළාබාලතම ලේඛකයා ද වශයෙනි. එමෙන් ම ඉංගිරිසි සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පිරිනැමුණු පළමු අවස්ථාව ද එයය.

ජෝෂප් රඩ්යාඩ් කිප්ලිං 1865 දී ඉන්දියාවේ, බොම්බායේ දී උපත ලැබී ය.‍ ලේඛකයකු ලෙස ඔහු ප්‍රකට වූයේ රඩ්යාඩ් කිප්ලිං යනුවෙනි. ජෝෂප් යන මුල් නම ඔහු භාවිත කළේ නැත. ඔහුගේ දෙමවුපියන් ‘රඩ්යාඩ්’ විලේ සුන්දරත්වයට පෙම් බැඳි අය වීම එනම් ඔහුට ලැබීමට හේතුව ය. කිප්ලිං උපන් නිවස මුම්බායි නගරයේදී අදටත් දැකිය හැකි ය. පසුකාලීනව එය J.J කලා සරසවියේ පීඨාධිපති නිල නිවස වශයෙන් ද කාලයක් යොදා ගැනිණි. කිප්ලිංගේ පියා ජෝන් ලොක්වුඩ් කිප්ලිං ද දක්ෂ මූර්ති හා මැටි බඳුන් නිර්මාණ ශිල්පියෙකි‍. ඔහු J.J කලා සරසවියේ මහාචාර්යවරයකු මෙන් ම එහි ප්‍රධානියා ද විය. ඉන්දියාවේ උපත ලැබුව ද ඔහු හැදී වැඩුණේ බ්‍රිතාන්‍යයේ ය. අධ්‍යාපනය වෙනුවෙන් පස් හැවිරිදි වියේදීම ඔහු එරටට රැගෙන යාමට දෙමවුපියන් ගත් තීරණය ඊට‍ හේතු විණි. කෙසේ වුව ද ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළුවීම සඳහා ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට තරම් ඔහු අධ්‍යාපනයේ දස්කම් නොපෙන්වීය. එබැවින් වර්ෂ 1882 දී පන්ජාබයේ, ලාහෝර් නගරයට පැමිණියේ මාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරැඹීමට ය. The Civil and Military Gasette නම් කුඩා ප්‍රාදේශීය පුවත්පතක සහාය සංස්කාරක වශයෙන් ඔහු කලක් කටයුතු කළේ ය.

කිප්ලිංගේ කෘතීන් අතර ලොකු කුඩා කා අතරත් අතිශයින් ම ජනප්‍රිය වූ ‘ද ජන්ගල් බුක්’ ප්‍රකාශයට පත්වූයේ 1894 දී ය. එය 1893 - 1894 වකවානුවේ සඟරාවල ප්‍රකාශයට පත් වූ කතා එකතුවකි.

‘ද ජන්ගල් බුක්’ කෘතිය පෝතක බාලදක්ෂයන් අභිප්‍රේරණය කිරීම සඳහා ද භාවිතා වේ. සුප්‍රකට ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් පවසන පරිදි, මේ කෘතිය මඟින් ඉන්දියානුවාගේ මනසට වඩා හොඳින් වනසතුන්ගේ සිතුම් - පැතුම් වටහාගැනීමට තමාට හැකි බව කිප්ලිං පිළිබිඹු කර තිබේ. කෙසේ වුව ද මෙහි එන ඇතැම් කාරණා තමා විසින් කොපි කර ඇති බව 1895 දී කිප්ලිං පිළිගත්තේ ය.

‘ද ජන්ගල් බුක්’ එනමින් ම සිනමාවට ද නැගිණි. වෝල්ට් ඩිස්නි නිෂ්පාදනය අතිශයින් ම ජනප්‍රිය විය. එය ඇසුරින් නිර්මාණය වූ කාටුන් කතා මාලාව ද එලෙසින් ම ජනප්‍රිය ය. ගණන් කළ නොහැකි තරම් නිර්මාණ මේ කෘතිය ඇසුරින් කෙරී තිබේ.

කිප්ලිං, ‘ද ජන්ගල් බුක්’ රචනා කළේ එක්සත් ජනපදයේ සිටිමිනි. ඇමෙරිකානු ලේඛක වොල්කොට් බැලස්ටියර් කිප්ලිං ගේ සමීප මිතුරෙකි. එකී මිතුදම කොතෙක්ද යත් කිප්ලිං විවාහ කර ගත්තේ ද වොල්කොට්ගේ සහෝදරිය වන කැරොලින් ය. නව යුවළ කැරොලින් ගේ තවත් සහෝදරයකු වූ බෙටී ට අයත් වර් වොන්ට් හි පිහිටි ඉඩමක් මිලදී ගෙන සිය සිහින නිවහන එහි ඉදි කළහ. මේ නිවස ඔවුන් හැඳින්වූයේ මුදලට වඩා අගනා මැණිකක් යන තේරුම දෙන The Naulahka වශයෙනි. Naulahka හින්දි වදනකි.

නව යුවළ පළමු දරු සම්පත අපේක්ෂා කරමින් සිටියදී ම කිප්ලිං ‘ද ජන්ගල් බුක්’ ලිවීම ඇරැඹීය. ඔවුනගේ පළමු දරුවා දියණියකි. ඇය 1892 දී උපත ලැබූ ජොසපින් ය. 1894 මැයි මාසයේදී කිප්ලිං ‘ජන්ගල් බුක්’ කෘතියේ පිටපතක් සිය දියණියට පිරිනැමුවේ එහි විශේෂ සටහනක් ද තබමිනි. ජොසපින්ට පසුව එල්සි නමින් තවත් දියණියක ද ‍‍ජෝන් නමින් පුතකු ද ඊළඟ වසර කිහිපයේදී කිප්ලිං පවුලට එක් විය. එහෙත්, ජොසපින්ට අවුරුදු 6 ක් වනවිට ඇය අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තේ නිව්මෝනියාව වැලැඳීමෙනි. කිප්ලිං ද එම රෝගී තත්ත්වයෙන් පීඩා වින්දේ ය. සිය වැඩිමහල් දියණියගේ අභාවය කිප්ලිං බලවත් සේ කම්පනයට පත් කළේ ය. එම තත්ත්වයෙන් මුළුමනින් ම මිදීමට ඔහුට නොහැකි විණි.

‘ද ජන්ගල් බුක්’ හි නිරූපිත සියොන් වනාන්තරයට කිප්ලිං සැබැවින් ම කිසිදා ගොස් නොතිබීම සිත්ගන්නා සුලු අප්‍රකට කාරණයකි. ඔහු සිය මිතුරන් ලවා එම වනාන්තරයේ ඡායාරූප ගෙන්වා ගෙන ඒවා නිරීක්ෂණය කළේ ය. රොබට් අමිටේජ් වැනි අයගේ කෘතීන් කියවමින් ඔහු සතුන් ගැන දැනුම ලැබුවේ ය. ඉන්දියාවේ වන සතුන් ගැන කිප්ලිංගේ පියා ඇඳ තිබූ අගනා චිත්‍රසටහන් ද ඔහුට විශාල ලෙස ප්‍රයෝජනවත් විය. ඉන් සමහරක් එහි නිරූපිත ය. අනෙක් චිත්‍ර සටහන් කිප්ලිං විසින් ම ඇඳ තිබේ. කිප්ලිංගේ ‘කිම්’ කෘතියේ චිත්‍ර සටහන් ද ඔහුගේ පියා අඳින ලද ඒවා ය. තමා අතිශයින් ම ප්‍රිය කරන කෘතිය ‘කිම්’ බව ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරු වරින් වර ප්‍රකාශ කර තිබේ.

කිප්ලිංගේ පද්‍ය නිර්මාණ අතර විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකෙන ‘If’ බ්‍රිතාන්‍යයේ ප්‍රියතම කවි පෙළ ලෙස ද පිළිගැනේ. බ්‍රිතාන්‍යයන් අතර පමණක් නොව ඉංගිරිසි සාහිත්‍ය ඇසුරු කරන ලොව පුරා පාඨකයන් අතර එය අතිශයින් ම ජනප්‍රිය ය. විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයන්ට එය ආලෝකයක් වූ බව ද ප්‍රකාශ වී තිබේ. ‘If’ කවි පන්තිය කිප්ලිං ලියන ලද්දේ සිය පුතුට උපදෙස් දීම සඳහා ය. එහෙත් එය ඔහුගේ පුතුට උපදෙස් දීම සඳහා ය. එහෙත් එය ඔහුගේ පුතුට පමණක් නොව ලොව පුරා පුතුනට ලියූ අනගිතම උපදේශ කාව්‍යක් විණි. 1909 දී ලියූ මේ කවි පෙළ සියවසකට පසු අදට ද බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ආභාසයක් ගෙන දේ. ඇත්නම් පියවරු එය තම පුතුනට ත්‍යාගයක් ලෙස අදටත් පිරිනමති. මේ කවි පෙළ පිටුපස ඇති කතාව නම් බ්‍රිතාන්‍යයට හිතකර නොවේ. එමෙන් ම එය බොහෝ දුරට අප්‍රකට ය. කිප්ලිං ‘If’ ලියා ඇත්තේ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් විසින් ද්‍රෝහියකු ලෙස සලකා අත්අඩංගුවට ගත් ඉන්දියානු සම්භවයක් ඇති වෛද්‍ය ජේම්සන් අරමුණු කරමිනි.

ජේම්සන් කිප්ලිංගේ මිතුරෙකි. ‘If’ පිටුපස ඇති කතාව කිප්ලිං සිය ජීවිත කතාව ලෙස ලියූ Something of My self හි සටහන් කර තිබේ. ඔහුගේ අභාවයෙන් වසරකට පසු 1937 දී එය කෘතියක් ලෙස ප්‍රකාශයට පත් විය. යටත් විජිතවාදී පීඩනය සහ ඊට එරෙහිවීමේ වුවමනාව ද මේ කවි පෙළින් ම පිළිබිඹු වේ. අත්අඩංගුවෙන් නිදහස්ව ආපසු දකුණු අප්‍රිකවට යන ජේම්සන් දේශපාලනඥයකු ලෙස කැපී පෙනිණි. කිප්ලිංට මේ සිදුවීම් කොපමණ බලපෑවේ ද යත් බ්‍රිතාන්‍යයෙන් පිරිනැමුණු ‘නයිට්’ නාමය හෝ වෙනත් සම්මාන ඔහු ප්‍රතික්ෂේප කළේ ය. කිප්ලිං ජේම්සන්ගේ චරිතය ඇසුරින් සිය පුතුට උපදෙස් දීමට ලියූ ‘If’ 1915 දී ප්‍රකාශයට පත්වනු දැකීමට ඔහුගේ පුතු ලුතිනන් ජෝන් කිප්ලිං ජීවත් නොවීම අවාසනාවන්ත මෙන් ම දුක්මුසු සිදුවීමකි. ඔහු පළමු ලෝක සංග්‍රාම භූමියේ දී ජීවිතක්ෂයට පත් විය. දේහය පවා සොයාගත නොහැකි විණි. පුතුගේ අභාවය කිප්ලිං බෙහෙවින් ම කම්පනයට පත් කළ සිදුවීමකි. එහෙත් ජෙම්සන්ට මෙන් ම ජෝන් කිප්ලිංට ද උපහාරයක් වෙමින් රඩ්යාඩ් කිප්ලිං ගේ ‘If’ කවිපෙළ අදටත් සුවහසක් මිනිසුන් ගේ දිවිමඟ ආලෝකවත් කරන්නේ ය.

| ධම්මික සෙනෙවිරත්න

No comments:

Post a Comment