11 June 2017

ඇමති ජෝන්ට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විරෝධය

මුතුරාජවෙල වගුරු බිම ආශ්‍රිත පාරිසරික ගැටලුවක් සම්බන්ධයෙන් ප්‍රදේශයේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ජුනි 08 වන දා සංචාරක ප්‍රවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා හමු වී කරුණු පැහැදිළි කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එම මාධ්‍යවේදීන් වෙත අමාත්‍යවරයාගෙන් එල්ල වූ තර්ජනාත්මක ප්‍රතිචාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකී. එබඳු අපරිණත සහ ප්‍රචණ්ඩකාරී හැසිරීමක් මෙරට යහපත් මාධ්‍ය සංස්කෘතියකට මෙන්ම නිරෝගිමත් ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයකට ද කිසිසේත් හිතකර නොවන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පිළිගැනීමයි.

ජනමාධ්‍ය වෘත්තියෙහි ප්‍රධාන මෙහෙවරක් වන තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ජනමාධ්‍යවේදියා තම ප්‍රධාන මෙවලම ලෙස යොදා ගන්නේ ප්‍රශ්න නැගීමයි. එබඳු සාධාරණ හා වෘත්තියමය වටිනාකමකින් හෙබි ප්‍රශ්න මතු කිරීමේ දී කුපිතව ජනමාධ්‍යවේදියා නිහඬ කිරීමට බලවතුන් කරනු ලබන උත්සාහය අප දකින්නේ නිදහසේ තොරතුරු ගලා යාමේ ක්‍රියාවලියට එල්ල කරනු ලබන තර්ජනයක් ලෙස ය.

මෙහිදී අමාත්‍යවරයා මෙන්ම ඔහුගේ ආධාරකරුවන් ද විශේෂයෙන් එහි සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ද මෙම ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය කටයුතුවලට බාධා කිරීම සඳහා තර්ජනාත්මකව මැදිහත් වන ආකාරය වාර්තා වී තිබේ. පහත් යෙදුම් සහ අසභ්‍ය වචන භාවිතා කරමින් තම ගේට්ටුවෙන් ඇතුළට නොඑන ලෙස අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීන්ට තර්ජනය කරයි.

මහජන සුභසිද්ධියට ඉවහල් වන සිදුවීම් වාර්තාකරණයෙහි නියැලෙන මාධ්‍යවේදීන්ට මෙසේ බාධා කිරීම මහජන සුභසිද්ධියට බාධා කිරීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පිළිගැනීමයි.

මෙබඳු සිදුවීම් කිහිපයක්ම පසුගිය කාලය තුළ වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් නීතිය ඉටු නොවීම තවදුරටත් එම තත්ත්වය වර්ධනය වීමට හේතු වන බව පෙනෙන්නට තිබේ. එබැවින් මෙම සිදුවීමේ දී අමාත්‍යවරයා මෙන්ම ඔහුගේ ආධාරකරුවන් ද, එහි සේවයේ නියැළුණු පොලිස් නිලධාරීන් ද ක්‍රියා කළ ආකාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පවත්වා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් සහ ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.

සී. දොඩාවත්ත — කැඳවුම්කරු
දිලීෂා අබේසුන්දර — ලේකම්

No comments:

Post a Comment