10 June 2017

මිනිසුන් සමඟ නොව අදහස් සමඟ සටන් කරන්න

අපේ ජීවිත ඇතුළේ වචනයෙන් කියන්න බැරි තරම් රහස් හැංගිලා තිබුණා. එයයි, මමයි එකට ගතකරපු අවසන් මාසයේ දී පවා ඔහු ළඟින් ඉන්න කියලා මට කතා කරනවා. එයාට බලාපොරොත්තුවේ සේයාවක් වත් දැනෙන්න ඇති. ඒ අවසන් දවස් කීපයේ දී කවදාවත් නොකළ තරමට එයා මට ආදරේ කළා. අපිට කවදාවත් වෙන් වෙන්න උවමනා වුණේ නැහැ. අපි ආදරෙන් ගතකරපු ඒ දවස්..... ඔව්, මම ඒ ගැනත් කතා කරන්න  ඕන. මිනිහෙක් ගෑනියෙක් ළඟට යන විදියට මම එයා ළඟට ගියා. ජීවත් කරවන්න බෙහෙත් විතරක් දෙනවට වඩා තවත් වෙන මොනාද? මට දෙන්න පුළුවන්. එයාට කොහොමටවත් මැරෙන්න  ඕන වුණේ නෑ. ඒත් බලාපොරොත්තුවක් ?........

මං මේ කිසිදෙයක් මගේ අම්මට කිව්වේ නෑ. කොහොමත් අම්මට මං ගැන තේරුම් ගන්න බැහැ. සමහර විට එයා අපිට සාපකරන්න ඇති. මොකද මේක නිකම්ම නිකං පිළිකාවක් නෙමෙයි. නම ඇහුවත් බය වෙන චර්නොබිල් පිළිකාව. වෛද්‍යවරු කිව්වේ එයාගේ ඇඟ ඇතුළෙම සැරව ගෙඩි පුපුරලා ගියොත් ඉක්මනටම මැරේවි කියලයි.

ඒ වෙනුවට එයාගේ මුහුණේ ඉඳන් ඇඟ පුරාම කළු පාට මොනවදෝ පැතිරිලා ගියා. එයාගේ නිකට වෙන පැත්තකට ගියා. බෙල්ල පේන්නවත් නැහැ. දිව එළියට වැටුණා. ශිරා නාලිකා පුපුරලා ගිහිං බෙල්ල, කම්මුල්, කන් මේ හැමතැනින්ම ලේ ගලන්න පටන් ගත්තා. සීතල වතුරත් එක්ක ලේ ගලන තැන්වලට පාන්කඩ එබුවත් කිසිම දෙයක් වුණේ නැහැ. කොට්ට ලේවලින් නැහැවිලා ගියා. මේ දිහා බලා හිඳීමත් හරිම භයානකයි. මේ ලේ ගංගාවක් වගේ ගලා යන්න පටන් ගත්තා. තාමත් මහ රෑට ඒ ලේ ගලන සද්දේ මට ඇහෙනවා.’

ඒ Voices from Chernobyl කෘතියේ අවසන් කතාවේ සඳහනකි. එහි කතුවරිය විසින්ම මේ කොටස උපුටාගෙන සැබෑ කථකයාගේ නම වෙනුවට වෙනත් නමක් යොදලා අන් තැනක පළකරනවා. දවස් දෙකකට පස්සේ අදාළ කතුවරියට ඇමතුමක් එනවා. ‘මගේ නම වෙනස් කළේ ඇයි?.’ ඔයාගේ ඇත්ත නම යොදලා අපහසුතාවයට පත් කරන්න  ඕන වුණේ නැහැ. ඒකයි. ‘අදාළ කතුවරිය උත්තර දෙනවා.’ මම ගොඩක් විඳෙව්වා, මගේ මනුස්සයා ගොඩක් විඳෙව්වා, ඉතින් ලෝකෙට මේ ගැන තවත් බොරු කියන්න උවමනාවක් මට නැහැ.’

මේ සිද්ධියෙන් වසර ගණනාවක් ගතවී ගිය 2015 වසරේදී සාහිත්‍ය සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ මේ කතුවරිය Svetlana Alexievich ය. ඇයට නොබෙල් සම්මානය පුද කරන අවස්ථාවේදී පවසන නිර්දේශිත වාක්‍යය වෙන්නේ ‘අපේ කාලයේ විඳවීම් හා ධෛර්යය පිළිබඳව ඇය සටහන් කළ විවිධත්වයෙන් යුතු ලේඛනයන් වෙනුවෙන්, මේ සම්මානය පුද දෙනවා යන්නයි. ජීවත් වන ජනතාව පිළිබඳ රචනා කළ කෘතීන් වෙනුවෙන් නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ එකම තැනැත්තිය වෙන්නෙත් Svetlana.

බෙලොරුසියාවේ ඉපිද හැදී වැඩුණු ලේඛිකාවක් වන Svetlana ගේ කෘතීන් සිය රට තුළදීම තහනමට ලක් කරන්නේ Lukashenko ගේ පාලනයයි. අවසානයේ දී තම ජිවිතය ආරක්ෂා කරගන්නට 2000 වසරේදී ඇය බෙලොරුසියාවෙන් පලා ගියාය. තමන් මාධ්‍යවේදිනියක් මෙන්ම ලේඛිකාවක් වුණේ ඇයිදැයි? යන්න පිළිබඳ අදහස් දක්වන Svetlana පවසන්නේ. ‘මම වඩ වඩාත් උනන්දු වෙන්නේ අපේ යුගයේ දී මිනිස්සුන්ට සිද්ධ වුණේ කුමක්දැයි සොයා යන්නටයි.’ යන්නයි.

මාධ්‍යවේදිනියක ලෙස සිය දිවියේ විඳි සැබෑ අත්දැකීම් ගැන පවසන මිනිස්සුන්ගේ කථනයන් ඇය සිය කෘතීන් තුළ දිගහරින්නෙත් ඇයටම ආවේණික වූ ශෛලියකටයි. ‘මම කාලයක් පුරා මගේ දෑස් හා කන් ජීවිතය දකින, අහන විදිය හොඳින්ම දැනවිය හැකි නිර්මාණාත්මක ශෛලියක් හොය හොයා හිටියා. අවසානයේ දී මිනිස් කටහඬ ඔවුන්වම අමතන ශෛලියක් හොයා ගන්නට මට හැකි වුණා. යුද්ධය, චර්නොබිල් විනාශය, දැවැන්ත අධිරාජ්‍යයන්ගේ බිඳවැටීම ආදිය ගැන මගේ කෘතීන්වල ඉන්න සැබෑ මිනිස්සු කතා කළා. මේ මිනිස්සු ඔවුන්ගේ ජීවිත කතාව වචනවලට පෙරළුවා. ‘යන්න Svetlanaගේ අදහසයි.

Svetlanaගේ බොහෝ කෘතීන් ලෝකය තුළ සිදු වූ දැවැන්ත ඛේදවාචකයන් වටා ගොඩනැගී ඇති අතර එම අත්දැකීම්වලට මුහුණ දුන් පිරිස් හමුවී ඔවුන්ගෙන් ලබා ගන්නා සම්මුඛ සාකච්ඡාවන් ඇසුරින් ඇය සිය කෘතීන් රචනා කරයි. චර්නොබිල් ඛේදවාචකය හා ඉන් අනතුරුව මිනිසුන් නැවත  සිය ජීවිතයට මුහුණදුන් අයුරු Voices from Chernobyl: The Oral History of a Nuclear Disaster කෘතියේ තේමාවයි. මෙය රචනා කළ අයුරු පිළිබඳ ඇය පවසන්නේ, ‘මේ කෘතියට මම බොහෝ තොරතුරු ඒකරාශී කළා. සම්මුඛ සාකච්ඡා 500ක් අතරින් 107ක් මේ කෘතියේ  අන්තර්ගත වෙලා තිබෙනවා. එක් එක් පුද්ගලයන්ගෙන් ලබා ගත්ත සම්මුඛ සාකච්ඡා අතරින් රෙකෝඞ් පටි 4ක් එක් වුණා.  මේ එක සම්මුඛ සාකච්ඡාවක් පිටු 100-150කින් මුද්‍රණය කළා. චර්නොබිල්වල පවතින ඇත්ත තත්ත්වය මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. මේ කෘතිය ලියද්දි ඒ ගැන මගේ හිතේ නැගුණු ප‍්‍රශ්නවලටත් උත්තර ලැබුණා.’ යන්නයි.

Svetlana රචනා කළ පළමු කෘතිය වූ  The Unwomanly Face of the War තේමාව වී තිබෙන්නේ දෙවන ලෝක යුද්ධයේ දී කාන්තාවන් දැක්වූ දායකත්වයයි.  මිලියනයකට අධික සෝවියට් කාන්තාවන් පිරිසක් ඉදිරි පෙළ බලමුළුවලට දායක විය. මේ  අතර  වයස අවුරුදු 15 සිට 30 දක්වා වූ පිරිස වූ අතර මොවුහු ගුවන් නැවියන්, යුද ටැංකි රියැදුරන්, මැෂින් තුවක්කු මෙහෙයවන්නන් වැනි විවිධ මට්ටම්වල ව්‍යාප්ත වී සිටියහ. මෙහි දී Svetlana ගෙනහැර දක්වන්නේ යුද ජයග‍්‍රහණයෙන් පසු මිනිසුන් මේ කාන්තාවන් අමතක කර දැමූ ආකාරයත් යුද්ධයෙන් අනතුරුව ඔවුන් මුහුණදුන් අභියෝගත්ය. මිනිස්සු, ගැහැනුන්ගෙන් යුද ජයග‍්‍රහණය හොරාගත් බව Svetlanaගේ අදහසයි.

”ගැහැනු වෙන දෙයක් ගැන කතා කරද්දි මිනිස්සු ඔවුන්ගේ වීර ක‍්‍රියාවන් ගැන කතා කළා. මැරුණු මිනිස්සුන්ගේ සිරුරු අර්තාපල් වගේ පිට්ටනි පුරා තියෙද්දී තරුණ වියේ හිටිය කාන්තාවන්ට මියගිය උන් ගැන දුක හිතුණා. යුද්ධයෙන් පස්සේ ගැහැනුන්ට තවත් යුද්දෙකට සටන් කරන්න වුණා. අතීත තුවාල අතරට එක් වුණු මිලිටරි සහතික ඔවුන් වළලා දමන්නේ නැවත විවාහයක් කරගන්න උවමනා වුණු නිසයි.” යන්න ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය.

The Last Witnesses: the Book of Unchildlike Stories ඇගේ දෙවැනි කෘතිය වූ අතර මෙහි දී අහිංසක දරුවන්ගේ දෑස් යුද්ධය දුටු ආකාරය ඉදිරිපත්කර ඇත. ඉන්පසු ලියැ වුණු Boys in Zinc කෘතියේ තේමාව වන්නේ වසර 10ක් පුරාවට පැවතුණු සෝවියට් හා ඇෆ්ගන් යුද්ධයයි. මේ යුද්ධයට සම්බන්ධ වුණු සෙබළුන් 100කට අධික පිරිසකගේ කතාවන් මෙහි දී දිගහැරෙන අතර යුද්ධයේ ගොදුරු බවට පත්වුණු වැන්දඹුවන් හා මව්වරුන්ගේ කතාවන් ද මෙහි දී දක්වා ඇත.

මේ වනවිට සිය දිවියේ 68 වසර සපුරන Svetlana සිය ලේඛනයන්හි දී මෙන්ම සැබෑ දිවියේ දී ද සිය අදහස් නොබියව ප‍්‍රකාශ කළාය. දිනෙක මිහයීල් ගොර්බචොව්ට Svetlana මුණගැසුණු අවස්ථාවකදී ඔහු පවසන්නේ ”මේ තරම් පුංචි කාන්තාවක් වෙලත් ඔබ දැවැන්ත, සාරගර්භ පොත් ලියනවා.” ඊට පෙරළා උත්තර දෙන ඇය ‘ඉතින්’ දැවැන්ත මිනිහෙක් නොවුණත් අධිරාජ්‍යයක් විනාශකර දමන්න තරම් හැකියාවක් ඔබටත් තියෙනවනේ.’ යන්නයි.

සිය දිවියේ දුටු නේක ඛේදවාචකයන් හා එම ඛේදාන්තයන් නැවත සටහන් ගත කළ Svetlana ජීවිතය දෙස නැවත හැරී බලමින් පවසන ප‍්‍රකාශයකින් සටහන නිමා කරන්නම්.“9/11 ඛේදවාචකය තුළින් ලෝකය රැඩිකල් විදියට වෙනස් වෙන අයුරු මිනිස්සු දෑසින්ම දුටුවා. මේකෙන් සිද්ධ වුණේ  ලෝකය ඉදිරියට ගමන් කරනවා වෙනුවට සන්නද්ධ මිනිස්සුත් එක්ක ආපස්සට ගමන් කිරීමයි. මා නිර්මාණය කළ ඇෆ්ගන් යුද්ධයට සම්බන්ධ වුණු  එක් චරිතයක් ප‍්‍රකාශ කරන්නේ, මේ මිනිස්සුන්ට නැවත සටන් කරන්න වුවමනාවක් නැහැ. අපි සටන් කළ යුත්තේ මිනිස්සු සමඟ නොවෙයි, අදහස් සමඟයි. මේ ලෝකය දිවිගෙවන්නට නුසුදුසු හා භයානක තැනක් බවට පත්කර තිබෙන, මිනිස්සු එකිනෙකාගෙන්  හුදකලා කර තිබෙන අදහස් මරා දැමිය යුතුයි.“

| වින්ද්‍යා ගම්ලත්

No comments:

Post a Comment