10 June 2017

IS ත්‍රස්තවාදීන් විසින් පාකිස්තානයේදී පැහැරගනු ලැබූ චීන ජාතිකයන් දෙදෙනා මරා දැමේ

පාකිස්තානයේදී පසුගිය මැයි මස තමන් විසින් පැහැරගනු ලැබුණු චීන ජාතිකයන් දෙදෙනා මරා දැමූ බව ඉස්ලාම් රාජ්‍යයේ IS සංවිධානය පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට අයත් පුවත් වාර්තාවල මෙය තහවුරු කර ඇති අතර, ඔවුන්ගේ ටෙලිග්‍රෑම් පුවත් ඇප් වැඩසටහන හරහාද මෙය තහවුරු කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ තමන් මෙම පුවත සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන අතරම, එය තහවුරු කරගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

පාකිස්තානයේ ක්වෙට්ටා නගරයේ භාෂා මධ්‍යස්ථානයක උර්දු භාෂාව හදාරමින් සිටියදී මොවුන් පැහැරගනු ලැබ ඇති අතර, එම අවස්ථාවේදී තවත් චීන කාන්තාවක් එහි සිට ඇතත් ඇය ත්‍රස්තයන්ගෙන් බේරී පළාගොස් තිබේ. කෙසේ වෙතත්, මොවුන් පැහැරගනු ලැබූ අවස්ථාවේදී එය කවුරුන් විසින් සිදුකළේද යන්න ඉස්ලාම් රාජ්‍ය හෝ වෙනත් කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් භාරනොගන්නා ලදී.

පාකිස්තානයේ බලුකිස්ථාන් පළාත විදෙශිකයන් පැහැර ගන්නා පාරාදීසයක් බවට පත්ව ඇති අතර, පසුගිය වසර කිහිපය තුළ ආයුධ සන්නද්ධ ඉස්ලාමීය අන්තවාදීන් විසින් කප්පම් මුදල් ලබාගැනීම සඳහා විදේශිකයන් පැහැරගනු ලැබීය. ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ඇෆ්ගනිස්ථානය තුළ යම් කොටසක බලය පතුරුවන අතර, 2015 සිට ඔවුන් පාකිස්ථානය තුළද බලවත් වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, චීනය පාකිස්ථානයට ආධාර සපයන ප්‍රධාන රාජ්‍යයක් වන බැවින් මෙය චීනයේ හොඳ හිත පළුදු වන අවස්ථාවක් ලෙසද විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.

No comments:

Post a Comment