10 June 2017

ආපදා සහන දෙන්න කෝටි 888 ක්

ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සහ නිවාස සම්පූර්ණයෙන්ම හානිවීම යන ආපදා වෙනුවෙන් රුපියල් මිලියන 8886ක මුදලක් ගෙවීමට රජය සූදානම් බව ආපදා කළමණාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

මෙම වන්දි මුදල් සතයක් හෝ අඩු නැතිව ගෙවන බවත් ආබාධ වලට හා නිවාස අර්ධ හානි සිදුවූ අය වෙනුවෙන්ද වන්දි ලබාදීම් සිදුකරන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය හා පූර්ණ වශයෙන් නිවාස හානිවූවන් වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් මිලියන 8886න් රුපියල් මිලියන 278ක් මේ වනවිට මුදාහැර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙම වන්දි ගෙවීම් වලට අමතර සහන සැළසීම වෙනුවෙන් රජය මේ වනවිට රුපියල් මිලියන 240ක් වැයකර තිඛෙනවා.

ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දැක්වූ ඇමතිවරයා සඳහන් කළේ පසුගිය වසරේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විනා‍ශ වූ නිවාස 67103ක් වෙනුවෙන් රුපියල් බිලියන 3.135ක වන්දි ගෙවා ඇති බවයි.

වන්දි ගෙවීම සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇතිකර නොගත යුතු බවත් ජාතික රක්ෂණ භාර අරමුදල වන්දි ගෙවීමට සූදානම් බවත් ඇමතිවරයා කියා සිටියා.

සිදුවූ විපත වෙනුවෙන් වන්දි ගෙවනවා සේම නැවත මෙවන් විපතක් සිදුනොවීමට අවශ්‍ය කටයුතු සැළසුම් කරන බවත් ඇමතිවරයා පැවසීය.

නව ඩොප්ලර් යන්ත්‍ර දෙකක් චීනයෙන් හා ජපානයෙන් ලැබෙන බවත් මේ තුළින් ඉදිරියේදි සිදුවන කාලගුණ විපර්යාස හදුනාගැනිමේ හැකියාව ලැබෙන බවද යාපා මහතා මෙහිදී සදහන් කරනු ලැබුවා.

No comments:

Post a Comment