30 June 2017

ත්‍රීවිල් ගමන් පරිස්සමින් - ඇමෙරිකානුවන්ට උපදෙස්

 ශ්‍රී ලංකාව තුළ කුලී ත්‍රිරෝද රථ භාවිතයේදී ඉතා පරිස්සමින් කටයුතු කරන ලෙස කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙරට වාසය කරන සහ සංචාරය සඳහා පැමිණෙන ඇමෙරිකානුවන්ට උපදෙස් ලබාදී තිබේ.

කොළඹ ප්‍රදේශයේ කුලී රථ සේවයේ යෙදෙන ඇතැම් රියදුරන් මගී කාන්තාවන්ව අයුතු ලෙස අතපතගෑම් සිදුකරන බව පවසමින්, තම රට වැසියන්ට පෞද්ගලික ආරක්ෂාව සලසා ගැනීම සඳහා උපදෙස් මාලාවක් ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය 26දා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව, මෙවැනි තත්ත්ව ගැන දැඩි අවධානයෙන් සිටින ලෙස සිය රටවැසියන්ට උපදෙස් දෙන ඇමෙරිකානු තානාපති කාර්යාලය, මහමඟදී හෝ නිවසේදී අපරාධකරුවන්ගේ ගොදුරක් වීමෙන් වළකින ලෙසත් කියා ඇත. ඒ අනුව, මෙම කරුණු පිළිබඳ අවධානය යොමු කරන ලෙසද තානාපති කාර්යාලය කියයි.
  •     කොළඹ ඇතුළතදී කාන්තාවන් තනිවම ත්‍රීරෝද රථයකින් ගමන් කිරීමෙන් වළකින්න.
  •     ඔබට තනිවම ගමන් කිරීමට සිදුවුවහොත් (විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී) සාමන්‍ය කුලී ත්‍රිරෝද රියක් නොව ඔබේ ගමන්මග නිරීක්ෂණය කෙරෙන සමාගමක් මගින් ඇණවුම් කරනලද කුලී රියක් පාවිච්චි කරන ලෙසත්, එම අදාළ ගමන පිළිබඳව පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් දැනුම්වත් කරන්න.
  •     කුලී රථයට ඇතුල් වීමට පෙර රියැදුරාගේ සහ වාහනයේ අංකයේ පින්තූරයක් ලෙස ලබාගන්න.
  •     මෙවැනි බොහෝ සිදුවීම් ගමනාන්තයේදී වාර්තා වී ඇති බැවින් සංචාරයක් අවසානයේදී විශේෂ සෝදිසියකින් පසුවිය යුතු අතර, කුලී ත්‍රිරෝද රථය තුළ ගත කරන කාලය අවම කරගත යුතුය.
  •     ගමන් මළු වැනි දෙයක් යොදා ගනිමින් රියැදුරා සහ මගියා අතර පරතරයක් තබාගන්න.
  •     යමක් සිදුවුවහොත් බලය පාවිච්චි කිරීමට පසුබට නොවන්න. අනතුරක් වේනම් කෑ ගසන්න. දැඩිව කටයුතු කරන්න. ආත්මාරක්ෂාව සඳහා පෙරළා පහර දෙන්න. එවැනි පියවරකදී සිද්ධිය කෙරෙහි සෙසු ජනයාගේ අවධානය යොමුවනවා සේම, ප්‍රහාරකයා තිගැස්මකට පත්වීමද සිදුවෙයි.
  •     හදිසි ඇමතුමක් ලබාදීමට හැකි ලෙස ඔබේ වටපිටාව මෙන්ම, ඔබ සිටින ස්ථානය පිළිබඳ අවධානයෙන් ඉන්න.
  •     වටිනා රන් ආභරණ සහ විශාල මුදල් ප්‍රමාණයක් තමා සන්තකයේ ඇති බව පෙනෙන්නට සැලැස්වීම තමන් අපරාධකරුවකුගේ ගොදුරක් වීමට ඇති ඉඩකඩ වැඩි කරන්නකි.
  •     නිවසේ සිටින විට දොරගුළු ලා සිටින්න.
  •     එසේම, සිය ජංගම දුරකථනය අවශ්‍ය මොහොතක වහාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බැටරි බලය සහිත බව සහතික කරගන්න. එසේ නැත්නම් අතිරේක අමතර බැටරි චාජරයක් ළඟ තබාගන්න. එමෙන්ම, හදිසියකදී සම්බන්ධ කරගත යුතු සමීපතමයන්ගේ අංක දුරකථනයට ඇතුළත් කර තබාගන්න.
ආරක්ෂාවට අදාළ පණිවුඩ ලබා ගැනීම සහ අවදානමකට ලක් වූ පුද්ගලයා සිටින තැන සොයා ගනු ලැබීම පහසු කිරීම සඳහා 'The Smart Traveler Enrollment Program' (STEP) වැඩ සටහනට ඇතුළත් වෙන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ජනරජයේ වෙසෙන සිය රටවැසියන්ට මෙහිදී උපදෙස් ලබාදී තිබේ. STEP යනු විදේශගත ඇමෙරිකානු පුරවැසියන්ට ඔවුන්ගේ සංචාර පිළිබඳව ළඟම පිහිටි සිය තානාපති කාර්යාලය සම්බන්ධ කෙරෙන ගාස්තු අය නොකෙරන වැඩසටහනකි.

No comments:

Post a Comment