30 June 2017

සිම්බාබ්වේ කණ්ඩායම අවතක්සේරු කරන්නේ නැහැ : ඇන්ජලෝ මැත්ව්ස්

 සිම්බාබ්වේ කණ්ඩායම අවතක්සේරු නොකරන බවත්, තරගාවලිය 5-0ක් ලෙස ජයගත හැකිනම්, එය ධනාත්මක සාධකයක් වනු ඇති බවත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැත්ව්ස් පැවසීය.

ශ්‍රී ලංකාව හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරගය පිළිබඳව අද (29දා) පැවති මාධ්‍ය සාකච්චාවේදී මැතිව්ස් මේ බව පවසා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිව්ස්,

"අපි සිම්බාබ්වේ කණ්ඩායම අවතක්සේරු කරන්නේ නැහැ. අපිට මෙම තරගාවලිය 5-0ක් ලෙස ජයගත හැකිනම් එය ධනාත්මක සාධකයක් වේවි. අපි අපේක්ෂා කරනවා එය සිදුකිරීමට. ඒ වගේම සිම්බාබ්වේට එරෙහිව හොඳ තරගයක් ලබාදෙන්නත් අපි සූදානම්. නමුත් ගාල්ල ක්‍රීඩාංගණයේ 2000 වසරෙන් පසු එක්දින තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. ඒ කෙරෙහි අවධානය යොමුවෙලා තිබෙනවා.

සංචිතයට ඇතුලත්ව සිටින අකිල ධනංජය මේ අවස්ථාවේ ඉතා හොඳින් පන්දු යවනවා. අපි ඔහුව සිම්බාබ්වේ තරගාවලියේදී යොදාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සංචිතයේ ඉන්න අමිල අපොන්සු හා ලක්‍ෂාන් සඳකැන්ද ඉතා හොඳ යවන්නන්.

අපි පිතිකරණය සම්බන්ධයෙන් ලොකු අත්හදා බැලීම්වලට යන්නේ නැහැ. ධනුෂ්ක හා දික්වැල්ල අද තරගය ආරම්භ කරන අතර, මමත් උපුල් තරංගත් මැදපෙළ ශක්තිමත් කරන්න ක්‍රීඩා කරනවා. ඊට අමතරව අපිට ඉන්නවා ධනුෂ්ක ගුණතිලක, වනිදු හසරංග හා අසේල ගුණරත්න. කපුගෙදර හා කුසල් ජනිත් ආබාධයකට ලක්වෙලා තිබෙනවා. කුසල්ට සමස්ත තරගාවලියම අහිමිව තිබෙනවා. ඔහුට සති 8ත් - 12ත් අතර කාලයක් විවේක ගන්න වේවි. අපි ඔහුව ඉන්දියානු සංචාරය සඳහා එක්කර ගන්නවා.

ඒ වගේම අපේ වේගපන්දු යවන්නන්ගේ කාර්යභාරය හා ඔවුන්ව භාවිතා කිරීම කළමනාකරණය කළ යුතුව තිබෙනවා. පන්දු රැකීම ගැන කථා කළොත්, තනි තනි ක්‍රීඩකයා විසින් වර්ධනය කරගත යුතු කරුණක්. අපි පන්දු රැකීමට වැඩි අවධානයක් යොමු කළා. කිසිම ක්‍රීඩකයෙක් හිතා මතා උඩපන්දු අතාරින්නේ නැහැ. අවාසනාවකට අපි ඒ වැරැද්ද තවමත් කරනවා.

තෝරාගෙන ඉන්න ක්‍රීඩකයන් 14 දෙනාටම ඕනෑම අවස්ථාවක ක්‍රීඩා කිරීමට අවස්ථාව තිබෙනවා. වනිදුට ක්‍රීඩා කරන්න අවස්ථාව දෙනවද කියන එක තේරීම් කමිටුව තීරණය කරාවි. වනිදු තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහු හෝ ළහිරු මධුසංක යන ක්‍රීඩකයන් දෙදෙනාටම ක්‍රීඩා කිරීමේ අවස්ථාව තිබෙනවා."

No comments:

Post a Comment