30 June 2017

ලොවට ඇති බරපතලම අනතුර අභ්‍යවකාශයේ සිට එන ග්‍රාහකයි

 අද දවසේ මිනිසා මුහුණදී සිටින බරපතලම අභියෝගය හා අනතුර අභ්‍යවකාශයේ සිට පැමිණෙන හඳුනා නොගත් ග්‍රාහක බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.

වර්තමාන ලෝකය මුහුණදෙන යුද්ධ, ත්‍රස්තවාදී තර්ජන, සතුරු රාජ්‍ය ආදී විවිධ අභියෝග සම්බන්ධයෙන් මාධ්‍ය තුළ හා ජනසමාජයේ බොහෝ සෙයින් කතාබහට ලක්වුවද, ඒ සියලු අභියෝග හා අනතුරු මෙම දැවැන්ත අභියෝගය හමුවේ සුළු සිද්ධීන් පමණක් බවද සඳහන් වේ.

අදට (30දා) යෙදෙන ජාත්‍යන්තර ග්‍රාහක දිනය(International Asteroid Day) වෙනුවෙන් අදහස් දක්වන යුරෝපා අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (ESOC)ප්‍රධානී රොල්ෆ් ඩෙන්සින්ග් පවසන්නේ, 'ඉතාම ආසන්නතම දිනකදී හෝ පසුවට හෝ අප ජීවත්වන පෘථිවිය කුඩා හෝ විශාල ග්‍රාහක ඝට්ඨනයකට මුහුණදෙනු ඇති' බවයි.

පසුගිය වර්ෂ බිලියන 4.5ක කාලය තුළදී පෘථිවිය අවස්ථා කිහිපයකදීම ග්‍රාහක බලපෑම්වලට ලක්ව ඇති අතර, පෘථිවි තලයෙන් ඩයිනෝසරයන් සම්පූර්ණයෙන්ම අතුරුදන් වීමටද ග්‍රාහක ඝට්ඨනයක් හේතු වූ බවට විවිධ අදහස් හා පර්යේෂණ දත්ත විද්‍යාඥයන් මතුකර තිබුණි.

තාරකා භෞතික විද්‍යාඥයන්ට අනුව අභ්‍යවකාශයේ රැඳුණු බොහෝ ග්‍රාහක ප්‍රමාණයෙන් කිලෝ මීටරයක් පමණ වුවද, මේ වනවිට මීටර් 140ක පමණ කුඩා ප්‍රමාණයේ ග්‍රාහකයක් වුවද පෘථිවිය හා ඝට්ඨනය වීමෙන් ඇති කළ හැකි හානිය වචනයෙන් විස්තර කළ නොහැකි එකක් බවද සඳහන් වේ.

එමෙන්ම, ලෝකය මීළඟ ග්‍රාහක ඝට්ඨනයට මුහුණදෙන අවස්ථාව හෝ දිනය ගැන කිසිවෙකු නොදන්නා බවද පෙන්වා දෙන විද්‍යාඥයන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, මෙසේ ග්‍රාහක පෘථිවිය කරා පැමිණීමේ අනාවැකි පළ කිරීම හා ඒවාට බාධා කිරීම සඳහා පිළියම් සෙවීම සම්බන්ධයෙන් විද්‍යාඥයන් ලෙස ඔවුන්ද දැඩි පීඩනයකින් යුතුව කටයුතු කරමින් සිටින බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ESOCප්‍රධානී රොල්ෆ් පවසා සිටියේ, "එය අප ජීවත්ව සිටින කාලයේදී සිදු නොවිය හැකි වුවත්, ග්‍රාහකයක් පෘථිවිය හා ගට්ඨනය වන දිනයේදී සිදුවන විනාශය අප මුහුණදෙමින් සිටින සියලු අභියෝගවලට වඩා ප්‍රබල වේවි. එසේ වන්නේ මෙවැනි අනතුරක් පිටුදැකීම සඳහා අපට දැනට ගතහැකි ආරක්ෂක පියවර ඉතාමත්ම සීමිත වන නිසයි.

අපට පිටස්තර ග්‍රාහකවලින් පෘථිවිය ආරක්ෂා කරගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් හෝ ආරක්ෂණ සැලැස්මක් තවම නැහැ. ඒ සඳහා අපි කොහෙත්ම සූදානම් නැහැ. විද්‍යා ප්‍රබන්ධවල සඳහන් වූ ආකාරයට ලේසර් කිරණක් මගින් පෘථිවිය කරා පැමිණෙන ග්‍රාහකය දවා හලු කිරීම හෝ එහි ගමන් මාර්ගය වෙනස් කිරීම හෝ ගැන අපි කතා කළත්, මුලින්ම අප කරා පැමිණෙන අවදානම හඳුනාගැනීමටවත් අප සමත් විය යුතුයි." යනුවෙනි.

No comments:

Post a Comment