01 August 2017

ඒකාධිපතියකු තම ජනතාවට කී අවසන් කතාව

"දයාවන්ත වූත්, ත්‍යාගවන්ත වූත් අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන්,

අවුරුදු හතළිහක්‌, ඇතැම් විට ඊට වැඩි කාලයක්‌දැයි මට මතක නැත, මම මගේ ජනතාවට අවශ්‍ය නිවාස, රෝහල්, පාසල් හා ඔවුන් කුසගින්නේ සිටින විට ඔවුන්ට අවශ්‍ය ආහාර ද ලබාදෙන්නට මට හැකි සෑම දෙයක්‌ම කළෙමි. කාන්තාරයක්‌ව තිබුණු බෙන්ගාසිය පවා මම සශ්‍රීක ගොවිබිමක්‌ කළෙමි. මම රොනල්ඩ් රේගන් නම් වූ ගොපල්ලාගේ ප්‍රහාරවලට එරෙහිව නැඟී උන්නෙමි. ඒ ඔහු මා විසින් හදාගත් අහිංසක අනාථ දියණියව මරාදැමූ විටය. ඔහු උත්සාහ කළේ මා මරාදමන්නටය. එහෙත් මියයන්නට සිදුවුණේ ඒ දුප්පත් අහිංසක දැරියටය. ඉන්පසු මම අප්‍රිකානු සන්ධානය වෙනුවෙන් මගේ අප්‍රිකානු සොයුරන්ටත් අරාබි මිතුරන්ටත් මුදලින් උපකාර කළෙමි.

මහජන කමිටු වලින් රට පාලනය කරමින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ සංකල්පය වටහාගන්නට මගේ රට වැසියන්ට උදව් කරන්නට මට කරන්නට හැකි සියලු දේ කළෙමි. එහෙත් එයද ප්‍රමාණවත් වූයේ නැත. කාමර දහයකටත් වැඩි නිවාස හා ඒවා පිරෙන්නට බඩුමුට්‌ටු ද ඇති මිනිසුන්ට පවා ඒවායින් සෑහීමකට පත් වෙන්නට නොහැකි විය. ඔවුන්ට තව තවත් දේ වුවමනා විය.

තමන්ට 'ප්‍රජාතන්ත්‍රවාදයත්', 'නිදහසත්' වුවමනා බව ඔවුහු ඇමෙරිකානුවන්ට සහ අනෙකුත් අමුත්තන්ට කීහ. එය "ලොකුම බල්ලා විසින් සෙසු උන්ව කා දමන" අන්දමේ බෙල්ල කපන ක්‍රමවේදයක්‌ වේ යෑයි ඔවුන් හඳුනාගත්තේ නැත. ඔවුන් මේ වචන වලින් කොතරම් වශී වී උන්නාදැයි කිවහොත් ඇමෙරිකාව යනු නොමිලේ ඖෂධ නැති, නොමිලයේ නිවාස නොදෙන, නොමිලයේ ප්‍රතිකාර කරන රෝහල් නැති, නොමිලයේ අධ්‍යාපනය නොදෙන, නොමිලයේ ආහාර නොදෙන, සහ මිනිසුන්ට තම ආහාරවේල උපයා ගන්නට දවස පුරා වෙහෙස වී වැඩ කරන්නට සිදුවෙන රටක්‌ බව ඔවුන් තේරුම් ගත්තේ නැත.

මා කොතරම් දේ කළ ද ඇතැමුන්ට එයින් සෑහීමකට පත්වන්නට නොහැකි විය. එහෙත් මගේ අනෙක්‌ රටවැසියෝ මා ගැන දැන සිටියහ. මා ගමාල් අබ්දුල් නසාර්ගේ පුත්‍රයා බව ඔවුහු දනිති. සලාහ් අල් ඩීන්ට පසුව අපට උන් එකම මුස්‌ලිම් නායකයා හා අරාබි නායකයා ඔහු පමණකි. ඔහු ඔහුගේ මිනිසුන් වෙනුවෙන් සූවස්‌ ඇළ ගොඩනැඟුවාක්‌ මෙන් මම මගේ මිනිසුන් වෙනුවෙන් ලිබියාව ගොඩනැඟුවෙමි. මා ගියේ ඔහුගේ පියසටහන් අනුවය. ඔහු මෙන්ම මාද උත්සාහ කළේ අපේ උරුමය සොරාගන්නා සොරුන්ගෙන්, යටත්විජිත ආධිපත්‍යයෙන් මගේ මිනිසුන් මුදාගන්නටය. දැන් මම යුද ඉතිහාසයේ විශාලතම සේනාවකගේ ප්‍රහාරයට යටත්ව සිටින්නෙමි. මගෙ පුංචි අප්‍රිකානු පුත්‍රයා, ඔබාමාට මා මරා දමන්නට වුවමනාය. ඔහුට අපේ රටේ නිදහස උදුරාගන්නට වුවමනාය. අපේ රටේ මිනිසුන් නොමිලයේ ලබන ගෙවල්, අපේ රටේ නිදහස්‌ සෞඛ්‍ය සේවය, අපේ නිදහස්‌ අධ්‍යාපනය, අපේ රටේ මිනිසුන් නොමිලයේ ලබන ආහාර, උදුරා ගන්නට ඔහුට වුවමනාය. එහෙත් එහි අර්ථය කුමක්‌දැයි තුන් වැනි ලෝකයේ රටවල අපි හොඳින් දනිමු. එහි අරුත සංස්‌ථාවන් විසින් රටවල් පාලනය කිරීමත්, ලෝකය පාලනය කිරීමත් එයින් මිනිසුන් විඳවීමත්ය.

ඉතින් මට වෙනත් විකල්පයක්‌ නැත. මා මෙයට මුහුණදිය යුතුය. අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත අනුව ඔහු පෙන්වූ මාර්ගයේ යමින් මා මියයා යුතුය. අපේ රට ගොවිබිම්වලින් සශ්‍රීක කර, ආහාරයෙන් හා සෞඛ්‍යයෙන් පොහොසත් කර, අපේ අප්‍රිකානු හා අරාබි සහෝදර සහෝදරියන්ටත් උදව් කළ යුතු බව අල්ලාහ් දෙවියන් මට පෙන්වූ මාර්ගයයි.

මම මැරෙන්නට අකමැත්තෙමි. එහෙත් මගේ මව්බිමත්, මගේ මිනිසුන් හා මගේ දරුවන් බඳු වූ දහස්‌ ගණන් දරුවනුත් රැකගන්නට මගේ ජීවිතය දෙන්නට සිදුවේ නම් එය මම ඉටු කරමි. මම නේටෝවේ කුරුස යුද්ධගාමීන්ගේ ප්‍රහාරවලට එරෙහිව නැඟී සිටියෙමි. කෲරත්වයට එරෙහිව නැඟී සිටියෙමි. පාවාදීම්වලට එරෙහිව නැඟී සිටියෙමි. බටහිරටත්, එහි යටත්විජිතවාදී බල තණ්‌හාවටත් එරෙහිව නැඟී සිටියෙමි. මගේ අප්‍රිකානු සහෝදරයන් හා මගේ සැබෑ අරාබි මිතුරන් වෙනුවෙන් මට හැකි අයුරින් පෙනී සිටියෙමි. මගේ මේ අවසන් ප්‍රකාශය ඒ බව ලෝකයට කියන මගේ හඬ වේවා. අනෙක්‌ අය මාලිගා තනද්දී මම සාමාන්‍ය නිවසකත්, ඇතැම් විට කූඩාරමකත් දිවිගෙවූයෙමි. සිරේට්‌හි ගෙවුණු මගේ තරුණ කාලය මට අමතක නැත. මා අපේ ජාතික භාණ්‌ඩාගාරය අත්තනෝමතික ලෙස භාවිත කළේ ද නැත. අපේ ශේ්‍රෂ්ඨ මුස්‌ලිම් නායකයකු වූ සලාෆ් අල් ඩීන් මෙන්ම මාද මා වෙනුවෙන් ලබාගත්තේ ඉතා ස්‌වල්පයකි. බටහිර සිටින සමහරුන් මාව "පිස්‌සෙකු" ලෙස හඳුන්වනු ඇත. ඔවුන් බොරුව තවදුරටත් පතුරුවන්නේ සත්‍ය දැන දැනමය. අපේ රට අධිරාජ්‍යවාදී ග්‍රහණයට හසු නොවූ නිදහස්‌ නිවහල් භූමියක්‌ බව ඔවුහු දනිති. මගේ දැක්‌මත්, මගේ ගමන්මඟත් මගේ මිනිසුන්ට පැහැදිලි බවත් ඔවුහු දනිති. එය දැන දැනමත් ඔවුහු බොරුවම පතුරුවති. මගේ අවසන් හුස්‌ම පොද තෙක්‌ම මම අපේ නිදහස වෙනුවෙන් සටන් කරමි. නිදහස්‌වත් විශ්වාසවන්තවත් පවතින්නට අල්ලාහ් දෙවියන් අපට පිහිට වනු ඇත".

කර්නල් මුවම්මර් ගඩාෆි.
2011.04.17 වැනි දිනදීය.

(කර්නල් මුවම්මර් ගඩාෆි තම රටවැසියන් අමතා කළ අවසන් නිල ප්‍රකාශය මෙය බව කියෑවෙයි.)

නිසරු කාන්තාර රටක්‌ව තිබුණු ලිබියාව මුවම්මර් ගඩාෆිගේ පාලන කාලය තුළ කලාපයේ සශ්‍රීකම රාජ්‍යය බවට පත්වූ බව ප්‍රතික්‌ෂේප කළ නොහැකි සත්‍යයකි. මේ කර්නල් ගඩාෆිගේ පාලන සමය තුළ ලිබියාවේ පැවති තත්ත්වය ගැන ඔබ නොදත් කරුණු කිහිපයකි.

* ඒ කාලය තුළ ලිබියාවේ විදුලි බිල් තිබුණේ නැත. සියලුම රටවැසියන්ට විදුලිය නොමිලේ ලැබිණ.

* ණයවලට පොලියක්‌ නැත. ලිබියාවේ සියලු බැංකු රජය සතු වූ අතර, රටවැසියන්ට ණය නිකුත් කරන ලද්දේ 0% ක ණය අනුපාතයටය.

* ලිබියානුවකුට උපාධියෙන් පසුවත් රැකියාවක්‌ සොයාගැනීමට නොහැකි වී නම් ඔහුට හෝ ඇයට සුදුසු රැකියාවක්‌ ලැබෙන තුරු රජයෙන් එම තැනැත්තාට ප්‍රමාණවත් වැටුපක්‌ ගෙවයි.

* කෘෂිකර්මාන්තය/ගොවිපළ පාලනය කිරීමට යොමුවන ලිබියානුවන්ට ඒ සඳහා භූමියක්‌, නිවසක්‌, කෘෂි උපකරණ, පශු සම්පත් හා අවශ්‍ය මූලික පහසුකම් රජයෙන් නොමිලයේ සැපයෙයි.

* කාන්තාරයක්‌ව තිබුණු රටක සෑම තැනකටම පහසුවෙන් ජලය ලබාගැනීමට හැකිවුණු Great Man-Made River නම් වූ ලෝකයේ විශාලතම ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ කර්නල් මුවම්මර් ගඩාෆිය.

* "නිවසක්‌ යනු සෑම පුද්ගලයකුගේම මානව හිමිකමකි" යි ලිබියාවේ එවකට සැලකිණි.

* ලිබියාවේ අලුත විවාහපත් වන අයට ලිබියානු රජයෙන් ඔවුන්ගේ පළමු නිවාසය මිලදීගෙන නව දිවිය ඇරඹීම සඳහා ඩිනාර් 60,000 ක්‌ (ඇමෙරිකානු ඩොලර් 50,000) ක්‌ ලබාදෙනු ලැබිණ.

* එක්‌දරු උපතක්‌ සඳහා මවකට ඇමෙරිකානු ඩොලර් පන්දහසක දීමනාවක්‌ රජයෙන් ලබාදෙනු ලැබිණ.

* ලිබියානුවකු මෝටර් රථයක්‌ මිලදී ගන්නා විට එහි වටිනාකමින් 50% ක්‌ රජය විසින් දරනු ලැබිණ.

* එවකට ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ. ඩො. 0.14 ක්‌ විය.

* අධ්‍යාපනයත් වෛද්‍ය ප්‍රතිකාරත් රටවැසියන්ට මුළුමනින්ම නොමිලේ ලැබිණ. අරාබිය හා අප්‍රිකානු ලෝකය තුළ හොඳම සෞඛ්‍ය සේවාවක්‌ තිබුණු රට ලිබියාව විය. සෑම පුද්ගලයකුටම කිසිදු ගාස්‌තු අය කිරීමකින් තොරව වෛද්‍යවරුන්ගේ, රෝහල්වල, සායනවල සේවාව හා නොමිලේ ඖෂධ ලබාගත හැකි විය.

* ලිබියානුවකුට තමාට අවශ්‍ය අධ්‍යාපනය හෝ වෛද්‍ය ප්‍රතිකාරයක්‌ ලිබියාවේදී ලබාගත නොහැකිව පිටරටකට යන්නට සිදුවුවහොත් ලිබියානු රජය විසින් ඒ සඳහා අවසරය ලබාදෙන අතර ඒ වෙනුවෙන් වියදම් කිරීමට ඇ. ඩො. 2300 ක මාසික දීමනාවක්‌ ද එකී පුද්ගලයාට ලබාදෙන්නට කටයුතු කෙරිණ.

* ගඩාෆිගේ පාලනයට පෙර ලිබියාවේ සාක්‌ෂරතාව තිබුණේ 25% ක්‌ පමණක්‌ වන අතර වර්තමානය වන විට එය 87% කි. ලිබියාවේ 25% කට පමණම විශ්වවිද්‍යාල උපාධියක්‌ ඇත.

එලෙසින් තිබුණු ලිබියාව ඇමෙරිකාවේත්, නේටෝ හමුදාවන්ගේත් සහයෙන් "ඒකාධිපතියාගෙන් මුදාගත්" පසුව අද පත්ව ඇති තත්ත්වය ගැන කිව යුතු නැත. බොහෝ ආසියාතික හා මුස්‌ලිම් රටවල් වර්තමානයේ අස්‌ථාවර වී ඇත්තේ එවන් පාලකයන්ගේ නායකත්වය හා ආරක්‌ෂාව නැති හෙයිනි.

| නිම්මි මුදිතා හේරත්

No comments:

Post a Comment