01 August 2017

ටියුෂන් තහනම් කරන්න නව පනතක්

පෝය දින සහ ඉරිදා දින පස්වරු දෙක දක්වා  පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම පිළිබඳව. පනත ළඟදීම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් සම්පූර්ණවීම නිමිත්තෙන් තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මහරගම ආසනයේ ගැබිනි මවුවරුන් 600 දෙනෙකු සඳහා පෝෂණ මලු බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“කොතරම් උගතෙක් වුවත් බුද්ධිමතෙක් වුවත් ඔහු හෝ ඇය බුද්ධිමතෙකු වන්නේ ආගමික දැනුමෙන් ලබන පරිචය හා ඔහු ලබාගන්නා වූ ආගමික දැනුම සමගයි. ඒ අනුව නිදහස් අධ්‍යාපනයෙන් දරුවන් කෙතරම් ඉහළට ගියත් ඔවුන් ගුණ ධර්මවලින් පෝෂණය වී නොමැති නම් ඔවුන් ලැබූ අධ්‍යාපනය ජාතියට නිසි පරිදි ගලාගෙන යන්නේ නැහැ.

ඒ නිසා සෑම දරුවෙකුම ඔවුන් ලබන ආගමෙන් දහමෙන් පෝෂණය ලැබිය යුතුයි. ආගමික ශික්ෂණයක් ලද දරුවා කිසිවිටෙක සමාජ විරෝධී ක්‍රියාවක් සිදු කරන්නේ නැහැ. ආගමික පරිසරයෙන් යුතු පුරවැසියෙක් ගෙන් සෑම විටම සමාජයට වන්නේ යහපතක්. එවන් පරිසරයක් රට තුළ නිර්මාණය කිරීම සඳහා නීති පැනවෙන පනත නීතිගත කිරීමේදී එම ආයතන ප්‍රධානීන් සමගද අප සාකච්ඡා කළා.

ඒ අනුව ඉරිදා දින සහ පෝය දින ටියුෂන් පන්ති තහනම් කිරීමේ පනතක් ළඟදීම පාර්ලිමේන්තුවට ගෙන එනවා. උපකාරක පන්ති ගුරුවරුන් සමගද සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා. මේ සමග දහම් පාසල් සඳහා ළමුන් යොමු කිරීමට පියවර ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා . මේ සම්බන්ධව අපි ‍මහා සංඝරත්නය හා ආගමික නායකයන්ගෙන් ද උපදෙස් ලබා ගත්තා. ඒ අනුව රටේ සියලුම දරුවන් දහම් පාසල් සඳහා යොමු වනු ඇති” යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් සහ මහරගම ප්‍රාදේශීය දේශපාලඥයෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

No comments:

Post a Comment