01 August 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා ඉල්ලා අස්වීමේ සූදානමක?

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකකයෙහි (Anti-Corruption) ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ලක්‍ෂ්මන් ද සිල්වා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව 'අද' ට වාර්තා වේ.මෙම ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතු 02ක් බලපා ඇති අතර, පසුගියදා ගාල්ලේදී නිමාව දුටු ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියෙක් සමග මතගැටුමකට මැදිවීමත්, දූෂණ මර්දන ඒකකයේ කටයුතුවලට යම් යම් පුද්ගලයන්ගෙන් බලපෑම් එල්ලවීමත් යන කරුණු ඊට ඉවහල්ව ඇතැයි වාර්තා වේ.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියෙකු සමග ගාල්ලේදී ඇති වූ මතගැටුමකින් පසුව ද සිල්වා මහතා සිය සමීපතමයන්ට දන්වා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට පැමිණි නවකයන් ජ්‍යෙෂ්ඨයන්ට ගරු කිරීමටවත් නොදන්නා බවත්, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසන කිසිම කාරණයකට සවන්දීමටවත් ඔවුන් සූදානම් නොමැති බවත්ය.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්හි නිලධාරීහු කටයුතු කරන්නේ නම් තමාට ඉදිරියට වැඩකටයුතු කිරීමට නොහැකි බවත්, එවැනි තත්ත්වයක් උදා වුවහොත් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව සිය තනතුරට සමුදීමට සූදානම් බවත් හෙතෙම සඳහන් කර ඇතැයි වාර්තා වේ. මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ලක්‍ෂ්මන් ද සිල්වා මහතාගේ සේවා කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති අතර, දූෂණ මර්දන ඒකකයේ කටයුතුවලට යම් යම් පුද්ගලයන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් ඔහු අදාළ ධුර කාලය නිමාවීමට පෙර ඉල්ලා අස්වීම භාරදෙනු ඇතැයි ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ලක්‍ෂ්මන් ද සිල්වා මහතාගෙන් කරුණු විමසා සිටි අතර, එහිදී ඔහු පවසා සිටියේ තම සේවා කාලය තවත් මාස 06කට දීර්ඝ කර ඇති බවත්, යම් යම් සිද්ධින් හේතුවෙන් තමන්ට ගැටලු ඇති බවත්ය. “පොඩි පොඩි සිද්ධීන් කිහිපියක් වුණා. එහෙත් මම උපරිම උත්සාහ කරනවා අදාළ මාස 06 රාජකාරි කරන්න. එහෙත් කියන්න බැහැ වාතාවරණය අනුව කොහොම වේවිද කියලා" යැයි හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය. 

 මේ අතර පසුගිය සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී යම් යම් ගැටලුකාරී අවස්ථා කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර දූෂණ මර්දන ඒකකය හා ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒකකය පරීක්‍ෂණයක් පවත්වන බව මාධ්‍ය වාර්තා පළවුණු අතර, ලක්‍ෂ්මන් ද සිල්වා මහතා එම ප්‍රවෘත්තිය අසත්‍යයක් බවද ප්‍රකාශ කළේය.

එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියාව මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීමට තමාට මුණ ගැසීමට නොහැකි වුණු බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයෙන් එවැනි පරීක්‍ෂණයක් ක්‍රියාත්මක නොවන බවද ඔහු තහවුරු කළේය.

කෙසේ වෙතත් සිම්බාබ්වේ තරගාවලිය අතරතුර සම්පත් හෙට්ටිආරච්චි නමැත්තෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ කණ්ඩායම් රැස්වීම්වලට සහභාගි වී ඇතැයි ද මාධ්‍ය වාර්තා පළවන අතර, ඔහු මෙරට ක්‍රිකට් පරිපාලනයේ ඉහළම නිලධාරියෙකුගේ ඥාතියෙකු බවද අනාවරණය වේ. මෙහිදී යම් යම් සිද්ධීන් කිහිපයක් සිදුව ඇති බවට විවිධ පිරිස් චෝදනා කරති. කෙසේ නමුත් ලක්‍ෂ්මන් ද සිල්වා මහතා පවසා සිටියේ, ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් හෝ ලැබී නොමැති බවත් කිසිදු පරීක්‍ෂණයක් හෝ ක්‍රියාත්මක නොවන බවත්ය. 

No comments:

Post a Comment