17 April 2017

මීතොටමුල්ලේ මිය ගිය ගණන 26 දක්වා ඉහළට



මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් මිය ගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිද හමුදාව, පොලිස් නිලධාරීන් මෙන්ම කොළඹ දිසාපතිවරයා, කොළොන්නාව ප්‍රාදේශීය මහ ලේකම්වරයා, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර  නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් ද යොදවා ඇති බවයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, විපතින් ජීවිත අහිමිවූවන්ගේ අවමඟුල් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට ජනාධිපතිවරයා හා අග්‍රමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

කෙසේවෙතත් විපතට පත්වූවන්ට සම්පූර්ණ වන්දි ගෙවීමට හා ඔවුන්ගේ ජීවිත පෙර තිබූ තත්වයට වඩා යහපත් තත්වයට ගෙන ඒමට කටයුතු කරන බව ඊයේ(16)  දිනයේදී ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ආපදාවට ලක්වූ දේපළ තක්සේරු කිරීමේ කටයුතු අද (17) දින සිදුකිරීමට නියමිත අතර අවදානම් කලාපවල සිටින ජනතාව හඳුනාගෙන ඔවුන් සඳහා ද සුරක්ෂිත ස්ථාන පිළියෙළ කිරීමේ කටයුතු ද සිදුකිරීමට එම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කොළොන්නාව ප්‍රදේශයේ ඉදි කරන ඇති නිවාස සංකීර්ණවලින් විපතට පත් ජනතාවට නිවාස ලබාදීම පිළිබඳ සොයා බලා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත උපදෙස් ලැබී ඇති බව වාර්තා වෙයි.

No comments:

Post a Comment