17 April 2017

ක්‍රීඩා සංගම්වල මුදල් හොරුන්ට ඇමැතිගෙන් දැඩි දඬුවම්



අති විශේෂ ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කළ නව ක්‍රීඩා රෙගුලාසි අනුව කටයුතු නොකරන ක්‍රීඩා සංගම්වලට එරෙහිව තරාතිරම නොබලා දැඩි පියවර ගන්නා බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි. විශේෂයෙන්ම මුදල් රෙගුලාසි කඩකරන හා මුදල් අක්‍රමිකතා පිලිබඳ චෝදනා ඇති නිලධාරීන්ට කිසිදු සමාවක් හිමි නොවන බවත් නීතියේ සඳහන් දැඩි දඩුවම් පමුණවන බවත් ජයසේකර මහතා අවධාරණය කළේය.

විගණනය කරන ලද මූල්‍ය වාර්තා ක්‍රිඩා සංගම්වල සාමාජිකයන්ට නියමිත කලට ඉදිරිපත් නොකොට නිලවරණ කැඳවීමට උත්සහ දරන ජාතික සංගම්වල ප්‍රධානීන්ට දැඩි දඩුවම් පමුනුවන බවද ඒ මහතා පැවැසීය.

මේ වනවිටත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය ක්‍රීඩා රෙගුලාසි උල්ලංඝණය කරමින් නිලවරණය පවත්වා එය ක්‍රීඩා අමාත්‍යාංශය පිළිනොගන්නා බව ප්‍රකාශ කොට ඇති අතර හිටපු සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන නිලධාරීන් තිදෙනාට ජීවිතාන්ත තහනමක් පැනවීමට ද තීරණය කොට ඇත. එමෙන්ම එම නිලවරණය අධීක්ෂණය කළ නිලධාරීන් තිදෙනකුට ද තහනමක් පැනවීමට කටයුතු යෙදේ. විගණන වාර්තා ඉදිරිපත් නොකර කැඳවූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ නිලධාරි මණ්ඩලය අවලංගු කොට විශේෂ පරිපාලන කමිටුවක් පත් කිරීමට ඇමැතිවරයා පියවර ගෙන ඇත. එමෙන්ම එම නිලවරණය නැවත පවත්වන ලෙස ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා නියෝග කළේය.

සියලුම ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණ කාලය මැයි 31 වැනිදා තෙක් දීර්ඝ කළද විගණන වාර්තා පිලිබඳ ප්‍රශ්න ඇති සංගම්වලට යම් සහන කාලයක් ඉල්ලා සිටියහොත් එය සලකා බැලීමටද ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කොට ඇත.

“ ක්‍රිඩා සංගම්වල සිටින බොහෝ නිලධාරීන් මා දන්නා හඳුනන අය. ඒ සියලු දෙනාට කියන්නේ නීතිය අනුව වැඩ කරන්නයි. ක්‍රීඩා නීතිය ආරක්ෂා කරමින් කටයුතු කිරීම සැමගේ යුතුකමක්. එසේ නොකරන අයට මගෙන් කිසිදු සමාවක් නෑ. ඇතැම් ක්‍රීඩා සංගම්වල ඉන්න නිලධාරීන්ට මූල්‍ය චෝදනා තියනවා. බැඩ්මින්ටන් සංගමය වසර ගණනාවකින් අය වැය විගණනය කර නෑ. මේවා ජනතාවගේ මුදල් කියා ක්‍රීඩා සංගම් ප්‍රධානීන්නට අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නෑ. නිලවරණ තියන්න කලින් මුදල් වාර්තා නිසි පරිදි සකස් කළ යුතුයි. හොරුන්ට රැකවරණයක් ලැබෙන්නේ නෑ. ක්‍රීඩා කරන දරුවන්ගේ මුදල් ගසාකන අයට දඩුවමක් හිමිවිය යුතුමයි ” ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

නව ක්‍රීඩා රෙගුලාසි අනුව ජාතික ක්‍රීඩා සංගම් පවත්වන නිලවරණයට දින 90කට පෙර විශේෂ මහා සභා රැස්වීමකදී ඡන්ද විමසීමේ විශේෂ බලය හිමිවන නිලවරණ කමිටුවක් පත්කර ගතයුතු බව ක්‍රීඩා ඇමැතිවරයා සියලු ක්‍රීඩා සංගම් වෙත විධානය කොට ඇත. ක්‍රීඩා සංගම් වෙත නිකුත් කොට ඇති සියලු විධානයන් ජාතික ක්‍රීඩා සංගම් තම ව්‍යවස්ථාවට අනිවාර්යයෙන්ම ඇතුලත් කොට සම්මත කර ගන්නා ලෙසට ද දැනුම් දී ඇත.

ක්‍රීඩා පනත අනුව නිකුත් කළ විධානයක් මගින් ක්‍රීඩා සංගම් වෙත ලිඛිතව දැනුම්දී ඇත්තේ මේ වර්ෂයේ පමණක් නිලවරණ කමිටුව නිලවරණයට සති දෙකකට පෙර විධායක කමිටුවේ අනුමැතියෙන් පත් කොට සියලු සාමාජිකයන් දැනුම්වත් කරන ලෙස හා එම කමිටු නාම ලේඛණ පිටපත ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත එවීම ප්‍රමාණවත් බවයි.

අනතුරුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිලවරණ කමිටුව හා නිලවරණය අධීක්ෂණය සදහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු නම් කරනු ඇත.

සියලුම නාම යෝජනා මෙම නිලවරණ කමිටුව ඉදිරියේ අදාල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා විවෘත කළ යුතු අතර එතැන් සිට ඡන්ද විමසීම නිමවන තෙක් නිලධාරීන් පත්කර ගැනීමට අදාල සියලු කටයුතු මෙම නිලවරණ කමිටුව යටතට පත්වේ. ජාතික ක්‍රීඩා සංගම් විශේෂ මහා සභා රැස්වීමක් පවත්වන විට අවම වශයෙන් දින 40කට පෙර ස්වකීය අනුබද්ධ ආයතන වෙත රැස්වීමේ දිනය නිවේදනය කළ යුතුවේ.

No comments:

Post a Comment