17 April 2017

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර එකඟතා රැසක්



ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළඳ ගනුදෙනු ඉදිරි වසර කීපය තුළ අමෙරිකානු ඩොලර බිලියනයක් දක්වා ඉහළ නැංවීමටත්, වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේ ද, සහයෝගීතාව වර්ධනය කිරීමටත්, දෙරටේ අග්‍රාමාත්‍යවරු එකඟත්වය පළ කළහ.

17වන දා පෙරවරුවේ වියට්නාම් අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු (Nguyen Xuan Phuc) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශවික නිල සාකච්ඡා පැවති අතර, වෙළඳ ෙක්‍ෂ්ත්‍රය පමණක් නොව, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන් ද ප්‍රවර්ධනය කිරීමට පදනම සැකසීමට ද මෙහිදී එකඟත්වය පළ කෙරිණි.

ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජයීය වශයෙන් සංවර්ධනාත්මක මාවතකට අවතීරණය වීම පිළිබඳව ප්‍රසාදය පළ කළ වියට්නාම් අග්‍රාමාත්‍ය ෂුඑන් මහතා, ජාතික සංදියාව තහවුරු කරලීම උදෙසා ශ්‍රී ලංකාව ගෙනයනු ලබන වැඩ පිළිවෙල සාර්ථක වන බවට විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකා - වියට්නාම් ඒකාබද්ධ කොමිසම මගින් සිදු කෙරෙන කාර්යයන් මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර, දෙරටේ සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරලීම උදෙසා රජයේ හා පුද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත බුද්ධිමය පර්ෂදයක් සැකසිය යුතු බවටද මෙහිදී තීරණය කෙරිණි.

බුද්ධිමය පර්ෂදය පිහිටුවීම සහ එහි කාර්යයන් සම්බන්ධීකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ශවයෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද, වියට්නාම් පාර්ශවයෙන් විදේශ කටයුතු උප ඇමති ගුයෙන් ක්වුක් ඩං (Nguyen Quoc Dzung) මහතා ද නම් කෙරිණි.

දෙරටේ රාජ්‍ය සහ පුද්ගලික අංශයන්ගේ පමණක් නොව අන්තර් ප්‍රජා සම්බන්ධතාවන් ද වැඩි දියුණු කළ යුතු බව දෙරටේ අග්‍රාමාත්‍යවරු පිළිගත්හ.

සංස්කෘතික හා තරුණ හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීමටත්, දේශපාලන සම්බන්ධතා තහවුරු කරලීමටත් පියවර ගත යුතු බව දෙපාර්ශවයේම අදහස විය.

වියට්නාම් සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත්, ශ්‍රී ලාංකේය සංචාරකයින් වියට්නාමයට ගෙන්වා ගැනීමටත් ඇති ඉඩ කඩ පිළිබඳව ද මෙහිදී සලකා බැලිණි. වියට්නාම් ගුවන් සේවාවන්ට ශ්‍රී ලංකාව විවෘත බව අගමැති වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර අපරාධ මැඬලීම සඳහා එකට එක්ව ක්‍රියා කිරීමේ වැදගත්කම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණු අතර, දෙරටේ හමුදා අංශ සිය අත්දැකීම් හුවමාරු කර ගතයුතු ක්‍රමවේදයන් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණි. වියට්නාම් ආරක්‍ෂක ඇකඩමිය සහ කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨය අතර සම්බන්ධතා ශක්තිමත් කරලීම ඔස්සේ ආරක්‍ෂක අධ්‍යයන කාර්යන් සමීපව සිදු කිරීමට ද තීරණය කෙරිණි.

දෙරටේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් සාගර වෙළෙදාම මත යැපෙන බැවින්, ඉන්දීය සාගර කලාපීය ආරක්‍ෂාව සහ නිදහස් නාවුක ගමනාගමනය වෙනුවෙන් නිරන්තරවම පෙනී සිටිය යුතු බව ද අවධාරණය කෙරිණි.

දකුණු චීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය සුරුකීමේ වැදගත්කම තහවුරු කරමින්, ජාත්‍යන්තර නීති රීතීන්ට අනුකඣලව, සාමකාමී ක්‍රියා පිළිවෙත් ඔස්සේ දකුණු චීන මුහුදු අර්බුදයට විසඳුම් සෙවිය යුතු බව ද දෙපාර්ශවයේම අදහස විය.

ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් අළුවිහාරේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් චාන්දනී විජයවර්ධන, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ ජෙනරාල් සුදන්ත ගනේගමආරච්ච් යන මහත්ම මහත්මීහු ද, මේ සාකච්ඡාවට සහභාගී වූහ.

No comments:

Post a Comment