17 April 2017

ඇමැති සාගලට, මරික්කාර්ට ’හූ’ සංග්‍රහයක් - දේශපාලනඥයන්ට දැඩි විරෝධය



මීතොටමුල්ල කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් විශාල පිරිසක් අතුරුදන් යැයි වාර්තා වන හෙයින් ඒ පිළිබඳ සෝදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කෙරෙන බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

සිද්ධියෙන් තුවාල ලැබූ 11 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.

මේ අතර හානිය පිළිබඳ සොයා බැලීම සඳහා නීතිය හා සාමය ඇමති සාගල රත්නායක මහතා පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීහු ඇමතිවරයාට විරෝධය දැක්වූහ. ඇමතිවරයා සමගින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාටද “හූ“ කියමින් විරෝධතා දැක්වූහ.

"මැරුණ⁣ට පස්සේ මොනව බලන්න එනවද" යයි කියමින් ප්‍රදේශවාසීහු ඇමතිවරයාට විරෝධය දැක්වූහ.

මේ අතර මීතොටමුල්ල කුණු කන්දට විරෝධය දැක්වීමේ සංවිධානය පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ මෙය ස්වභාවික විපතක් නොව මිනී මැරුමක් බවයි.  “2011 සිට මේ කුණු කන්දට විරෝධය පැවැත්වෙනවා. කිසිම පිළිතුරක් නෑ“

“කුණු කන්ද නාය යාමට පැවැති ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවත් වගකිව යුතුයි. මිනී මැරීමේ චෝදනාව යටතේ ආණ්ඩු දෙකේම පාලකයන්ට මරණීය දණ්ඩනය නියම කළ යුතු වෙනවා“ යයි කුණු කන්ද ඉවත් කරගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ගිය නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසීය.

ප්‍රදේශවාසියකු වන ඩඩ්ලි දන්තනාරායන මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ මෙම කුණු කන්ද මෙතැනින් ඉවත් කරගැනීම සඳහා සාකච්ඡා කිරීමට මීට දින කිහිපයකට පෙර තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා හමුවීමට ගිය බවයි. එහෙත් එයින් කිසිදු  ප්‍රයෝජනයක් අත්නොවූ බවද දන්තනාරායන මහතා පැවසීය.

“මේ දවස් වල පාර්ලිමේන්තුව නිවාඩු. අවුරුද්දෙන් පස්සේ පාර්ලිමේන්තුව පටන් ගත්තාම මේකට විසඳුමක් දෙන්නම් කියලා තමයි එයා කිව්වේ“ යයි දන්තනාරායන මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment