02 April 2017

ඖෂධ වර්ග 53ක් කල් ඉකුත් වීම සම්බන්ධව කළ ප්‍රකාශ අසත්‍යයි



රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර ඇති ඖෂධ වර්ග 53ක මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය තෙක් කල් ඉකුත් වන බවට පළවු වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එසේ කල් ඉකුත් වන්නේ එක් ඖෂධයක් පමණක් බවට රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ එච්.එම්.එම්.රූමි මහතා විසින් තහවුරු කළ බවය.

අදාළ කල් ඉකුත් වන ඖෂධය නික්ෂේපන වර්ගයක් වන අතර එය පිළිකා රෝගයට ගන්නා ඖෂධයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එවැනි ඖෂධවල ඉල්ලුම පිළිබඳ සැලසුම් කිරීම අපහසු බව ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසා ඇති අතර එම ඖෂධ තොග අඛණ්ඩව තබාගැනීම සංස්ථාවේ යුතුකම බව පෙන්වා දී තිබේ.

ඖෂධ වර්ග 48ක මිල පාලනය කර ඇති බැවින් සාමාන්‍ය  සැලසුම් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඖෂධ තොග තබාගැනීමට සිදුවු බව ඔහු ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වාර්ෂිකව රුපියල් මිලියන 6000ක පමණ ඖෂධ මෙරටට ගෙන්වා රාජ්‍ය ඔසුසල ඇතුළු දිවයින පුරා බලයලත් බෙදාහරින්නන් මඟින් සාධාරණ මිලට ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද එච්.එම්.එම්.රූමි මහතා ප්‍රකාශ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

No comments:

Post a Comment