08 April 2017

බංග්ලාදේශයේ දක්ෂතා ගැන පුදුම වෙන්න දෙයක් නෑ :



 බංග්ලාදේශ කණ්ඩායමේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ බංග්ලාදේශ කණ්ඩායම දක්වන දක්‍ෂතා පිළිබඳ පුදුම නොවිය යුතු බවත්, ඔහුගේ පුහුණුකාරිත්වය පිළිබඳ ලාංකිකයෙක් හා යාළුවෙක් විදිහට සතුටුවෙන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පවසා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (06දා) රාත්‍රියේ පැවති දෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් පසු පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ගුරුසිංහ මහතා මෙම අදහස් දක්වා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම පරාජයත් සමග තරගාවලිය තරග 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් විය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ගුරුසිංහ මහතා,

“චන්දික හතුරුසිංහ කියන පුද්ගලයා ගැන මම ඉස්සෙල්ලම දැනගත්තේ 1986 වසරේ. මම අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරන කාලේ ඉඳන් මම දැනගත්තා එයාගෙ (හතුරුසිංහ) ක්‍රිකට් දැනුම. මට කිසිම පුදුමයක් නෙමෙයි එයා මේ කරලා තියෙන දේ. මම සතුටුවෙනවා තව ලාංකිකයෙක් හා යාළුවෙක් විදියට බංග්ලාදේශ කණ්ඩායමත් සමග එයා කරන දේ. මම හිතන්නේ එයාගෙ වසර කිහිපයක කැපවීමේ ප්‍රතිඵලයක් කණ්ඩායම මේ ඉන්න තත්ත්වය. හතුරුට මෙතනින් එහාට මේ කණ්ඩායම ගෙනියන්න තියෙනවා 2019 ලෝක කුසලාන තරගාවලිය වෙනකම්. එයා හොඳ සේවයක් බංග්ලාදේශ ක්‍රිකට් වෙනුවෙන් කරනවා ” යනුවෙන් පවසා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් හතුරුසිංහ මහතාගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා දැයි මෙම මාධ්‍ය සාකච්චාවේදී ගුරුසිංහ මහතාගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු ලෙස ඔහු පවසා සිටියේ, හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණිය හොත් හොඳ ස්ථානයකට යාමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවයි. කෙසේ නමුත් 2019 වසර තෙක් ඔහු බංග්ලාදේශය සමග  ගිවිසුම් ගතව සිටින බව හෙතෙම පැවසීය.

“හරි අමාරුයි ඒක කියන්න. වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා සමගද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2019 තෙක් ගිවිසුම් ගතව ඉන්නේ. හතුරුසිංහද 2019 තෙක් බංග්ලාදේශය සමග ගිවිසුම් ගතව ඉන්නේ. හතුරු මට කියූ විදියට එයා 2019 ලෝක කුසලානය වෙනකම් ඉන්නවා. කොහොමත් අපටත් බැහැ එහෙම කරන්න, අපේ පුහුණුකරුගෙත් තියෙනවා ගිවිසුමක්. මම හිතන්නේ නැනැ අපි දෙගොල්ලොම ඒ ගැන කථාකරයි කියලා. කෙසේ නමුත් ඉතින් එයා කවදහරි දවසක ලංකාවට ආවොත්, අපට හොඳ ස්ථානයකට යන්න පුළුවන් වෙයි” යැයි අවසන් වශයෙන් පැවසීය.

No comments:

Post a Comment