08 April 2017

ලෝකයෙන්ම තවත් පළමු වැඩක් ලංකාව කිරීමට යයි



ලෝකයේ ප්‍රථම වතාවට කකුළුවන් අභිජනනය කිරීමේ මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකරන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මීට අමතරව මේ වසර තුළදී මඩකලපුව දිස්ත්‍රික්කයේ අක්කර 2000ක හා මන්නාරම ප්‍රදේශයේද ජලජ ජීවී වගා ඇතිකරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

අඩි 55ට වඩා විශාල ධීවර යාත්‍රා නිෂ්පාදනය කිරීම යටතේ නිෂ්පාදනය කළ පළමු යාත්‍රාව දියඹට මුදාහැරීම සඳහා ඊයේ (06දා) පැවැති උත්සවයේදී මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2020 වසරවනවිට ධීවර අංශයේ රැකියා ලක්ෂයක් ඇති කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

මේ යටතේ දැනටමත් දසදහසකට අධික ප්‍රමාණයකට රැකියා ලබාදී තිබෙන බවද ඔහු පවසා සිටියේය. මෙතෙක් කලක් ධීවර කර්මාන්තය දියුණු කිරීමට රජයන් කටයුතු නොකළ බවත්, මුදල් වෙන් කිරීමේදී පවා ලැබුණේ අවම මුදල් ප්‍රමාණයක් පමණක් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එහෙත් වර්තමාන ආණ්ඩුව එම කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍යතරම් මුදල් ලබාදෙන බවද ඔහු පවසා සිටියේය. ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය කර්මාන්තය සඳහා අඩි 55ට වැඩි යාත්‍රා නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් සීනොර් ආයතනය විසින් ආරම්භ කර තිබෙන අතර, මෙම යාත්‍රා මිලදී ගැනීමේදී ධීවරයන්ට 55%ක ආධාරයක් ලබාදීමටද සැලසුම් කර තිබේ.

No comments:

Post a Comment